අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම හා බේරුවල සිද්ධීන් පිළිබඳව වගකිව යුතු සියලු දෙනාට නීතිමය පියවර

    ජූනි 17, 2014

    අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් පිළිබඳව රහස් පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවත් දැනට කෙරී ගෙන යන මෙම කටයුතු අවසන් වූ වහාම මෙම නීතිය හා සාමය කඩ කිරීම සඳහා වගකිව යුතු සියලුම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරන බවත් අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි.මු. ජයරත්න මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ අද පාර්ලිමේන්තුවේ දී මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.


    පසුගිය ජූනි 15 වැනි දින බේරුවල ප්‍රදේශයේ දී ඇති වූ සිද්ධිය නිසා උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ව පාර්ලිමේන්තු සභාවේ අවධානය යොමු කරන බවත් මේ ප්‍රශ්නය ප්‍රදේශයේ ම සිංහල, මුස්ලිම් ජනතාවට සාමකාමීව විසඳාගැනීමට හැකියාවක් තිබෙන බවත් ජාතිවාදය අවුස්සන මේ ක්‍රියාදාමයට ඉඩ නොදෙන ලෙසත් සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා කීය.


    මෙහිදී එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.


    ශ්‍රී  ලංකාව තුළ  ජාතික වශයෙන්, ආගමික වශයෙන් අප සියලු දෙනාම එක වාගේ කල්පනා කරන නිසා එහි සාධාරණත්වය අප  සාකච්ඡා කර, සියලු දෙනාම සාමකාමී  සමාජයක් ගොඩනැඟීමට, ඒ පිළිබඳව අදහස් ඇති කර ගැනීමට පාර්ලිමේන්තුවට මෙම අදහස ඉදිරිපත් කිරීම ගැන විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා.
     

    මෙහි ඇතිවෙලා තිබෙන තත්ත්වය මේකයි. පසුගිය පොසොන් පොහොය දින ධර්ම දේශනයක් සඳහා වැඩම කරවන ලද අයගම සමිත ස්වාමීන් වහන්සේ ගමන් කළ වාහනයේ රියැදුරු සමඟ ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස්  මුස්ලිම් අයකු විසින් උන්වහන්සේට පහර දීමක් මුල් කර ගෙන  මෙම සිද්ධිය ඇති  වී ඇත. මෙම පහරදීමට සම්බන්ධ සැක කරුවන් තුන් දෙනෙකු  අත්අඩංගුවට‍ ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර  ගත කරන ලදි.


    රෝහල් ගත කළ සමිත ස්වාමීන් වහන්සේ රෝහලින් බැහැර කළ ජූනි 15 වන දින මෙම ස්වාමීන් වහන්සේ පිළිගැනීමට ස්වාමීන් වහන්සේලා ඉල්ලා සිටි උත්සවයකට ඉඩ ලබා දෙන ලදි.
     

    මෙම උත්සවය අවසානයේ මෙම හිමියන් උන්වහන්සේ වැඩ සිටින දර්ගා නගරය, කුරුඳුවත්ත විජයාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට තිබෙන මාර්ගය දර්ගා නගරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් වැටී ඇති බැවින් මෙම ගමන පිළිබඳව අදාළ පල්ලියේ පූජකවරුන්ද දැනුවත් කර අවහිරතාවකින් තොරව මෙම කාර්යය ඉටු කිරීමට අදාළ පාර්ශ්වයන් එකඟ විය. එසේ වුවත් ස්වාමීන් වහන්සේලා රැගත් වාහන මෙම මාර්ගයේ ගමන් කිරීමේදී යම්කිසි පිරිසක් විසින් මෙම වාහනවලට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා මෙම තත්ත්වය පැන නැඟී ඇත.


    මෙම සිද්ධියෙන් ප්‍රදේශයේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සිංහල හා මුස්ලිම් වැසියන්ගේ දේපොළවලට හානි සිදු වී ඇති අතර මෙම ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරින් 6දෙනකු ද, මාවරලේ සුධම්ම හිමි නමැති භික්ෂූන් වහන්සේ නමක්ද, සිංහල සහ මුස්ලිම් දෙපාර්ශවයේම 44දෙනකුද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත. මෙම සිද්ධිය සිදු වූ විගසම අලුත්ගම, බේරුවල ප්‍රදේශවල මහජන දේපොළ හා ජීවිත ආරක්ෂා කිරීමට පොලීසිය හා විශේෂ කාර්ය බලකාය යොදවන ලදී.


    මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ගත හැකි සියලු ක්‍රියා මාර්ගයන් අනුගමනය කළ අතර ප්‍රධාන සිද්ධීන් පිළිබඳව රහස් පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇත. දැනට කෙරී ගෙන යන මෙම කටයුතු අවසන් වූ වහාම මෙම නීතිය හා සාමය කඩ කිරීම සඳහා වග කිව යුතු සියලුම පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරනු ඇත. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නිරතුරුවම මහජන ජීවිත හා දේපොළ ආරක්ෂා කිරීමට සහ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව අවධාරණය කරමි.


    මෙම ප්‍රදේශයේ වාතාවරණය සාමකාමී තත්ත්වයට පත්ව ඇති බව කළුතර දිස්‍ත්‍රික් ලේකම්වරයා සහ කළුතර පොලිස් අධිකාරිවරයා විසින් අද දින මා වෙත වාර්තා කරන ලදී.


    ‍ඊයේ මා මෙම මුළු ප්‍රදේශයේම සංචාරය කරමින් ජනතාව මුණ ගැසුණා. එහිදී සිංහල, මුස්ලිම් පොදු ජනතාව ඉතාම මිත්‍රශීලීව කතා කළ අතර මේ සිද්ධිය ගැන සෑමදෙනාම කනගාටුව ප්‍රකාශ කළා. ඉතා සුළු පිරිසකගේ අමනෝඥ ක්‍රියාවක් නිසා මේ තත්ත්වය ඇති වූ බව වැටහෙනවා.


    "අලුත්ගම සිංහල, බෞද්ධ ඝාතනය  හෙළා දකිමු" කියලා මෙහි සඳහන් වනවා. මෙවැනි සිද්ධීන් අද විතරක් නොවෙයි, ඉතිහාසයේත් හුඟාක් අවස්ථාවල සිදු වෙලා තිබෙනවා. 1915 අවුරුද්දේ දී ගම්පොළ දී තමයි මෙවැනි සිද්ධියක් පටන් ගත්තේ. ඒ පටන් ගත් එක මුළු ලංකාව පුරාම පැතිරිලා ගියා. ඒ වාගේ තමන්ගේ ආගම, ජාතිය ගැන අප්‍රමාණ ලෙස වැරදි විධියේ චින්තනයක් ඇති කරන පුද්ගලයන් නොයෙක් විධියට කල්පනා කරනවා. ඒ සම්බන්ධයෙන් තමන්ගේ නම දරා ගන්නට, රට, ජාතිය වෙනුවෙන් තමන්ට ගෞරවයක් දක්වා ගන්නට නොයෙක් විධියේ ක්‍රියා මාර්ගයන් අනුගමනය කරනවා.


    නමුත් වැරදි විධියේ ආගමික, ජාතික හැඟීමක් කිසිම ආකාරයකින් දේශපාලනඥයකුට තිබෙන්නට පුළුවන්කමක් නැහැ. දේශපාලකයා සාධාරණ ලෙස ඒවා ගැන කල්පනා කළ යුතුයි. තමන්ගේ ආගම, තමන්ගේ ජාතිය ගැන කල්පනා කරනවා වාගේම අනෙක් ජාතීන් ගැනත් ඒ හා සමානව කල්පනා කරන්නට ඕනෑ. එහෙම නැති පුද්ගලයන් සුළු පිරිසක් සෑම ලෝකයේ සෑම සමාජයකම ජීවත් වනවා. මෙයත් ඒ වාගේ සිද්ධියක් යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya