ජාතික වශයෙන් වැදගත්වන අවස්ථාවල සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික කරුණුවලට අදාළව බෞද්ධ දර්ශනය මත පදනම් වූ ඉගැන්වීම් මත පිහිටා තීරණ ගැනීමට අවශ්‍යය කෙරෙන දායකත්වය ලබාදීම ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ කාර්ය භාරයයි.
දිවයිනේ සියලු පළාත් ආවරණය වන අයුරින් ව්‍යක්ත, විශාරද භික්ෂුන් වහන්සේලා 29 දෙනෙකුගෙන් මෙම ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය සමන්විතය.
සිය කාර්ය භාරය පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා සහ ආශිර්වාද ලබා ගැනීමට පසුගියදා ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය කටයුතු කළ අතර මල්වතු මහානායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍යය වරකාගොඩ ඥානරතන නායක හිමිපාණන් වහන්සේ මෙන්ම රාමඤ්ඤ මහා නිකායේ මහානායක පූජ්‍යය නාපාන ප්‍රේමසිරි නායක හිමිපාණන් වහන්සේ ද බැහැ දැක අනුශාසනා සහ ආශිර්වාද ලබා ගත්හ. ඒ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.
ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා වෙත යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ අතර තරුණ භික්ෂුන් වහන්සේලාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට සහ උන්වහන්සේලාගේ දුක් ගැනවිලිවලට සවන්දිම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ද යෝජනා කෙරිණි.
ජාතික බෞද්ධ අරමුදල පිහිටුවීම පිළිබඳව ද අදහස් සහ යෝජනා ඉදිරිපත් කෙරුණු අතර ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ කෘතින් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම මෙන්ම බෞද්ධ විශ්ව කෝෂය සිංහලයට පරිවර්තනය කිරීම පිළිඳව ද සාකච්ඡාවට ලක් විය.
බෞද්ධ කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එය මහා සංඝරත්නය සහ මහ ජනතාව අතර පුළුල් ලෙස සංවාදයට ලක් කිරීමෙන් අනතුරුව නැවත ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.