මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජව සම්පන්න ලෙස තිරසාර අරමුණින් වේගවත්ව ගමන් කරමු - ජනපති

    ජනවාරි 01, 2016

    උදාවන 2016 නව වසරේ අපගේ පොදු අධිෂ්ඨානය විය යුත්තේ, එකමුතු බව සහ ඒ තුළින් ශක්තිමත් වන සාමූහිකත්වයේත්, සහජීවනයේත්, සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    සුවහසක් අපේක්ෂා සහ බලාපොරොත්තු අප අභිමුව දැල්වෙමින් තිබෙන බවත්, මේ එළැඹීම තිබෙන්නේ නිශ්චිතව ම අප පසුගිය ජනවාරියේ අපේත්, අපේ අනාගත පරම්පරාවන්ගේත් ජීවිත නව හැරවුම් ලක්ෂයකට යොමු කළ තීරණාත්මක ප‍්‍රවේශය ඔස්සේ වඩාත් ජව සම්පන්න ලෙස, තිරසාර අරමුණින් ඉදිරිය බලා ගමන වේගවත් කළ යුතු කඩ ඉමකට බවත් සිය පණිවිඩයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

     

    ජනාධිපතිතුමා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය එළැඹෙන 2016 නව වසර වෙනුවෙන් නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.

     

    “සුවහසක් අපේක්ෂා සහ බලාපොරොත්තු අප අභිමුව දැල්වෙමින් තිබේ. මේ එළැඹී තිබෙන්නේ නිශ්චිතවම අප පසුගිය ජනවාරියේ අපේත්, අපේ අනාගත පරම්පරාවන්ගේත් ජීවිත නව හැරවුම් ලක්ෂයකට යොමු කළ තීරණාත්මක ප‍්‍රවේශය ඔස්සේ වඩාත් ජව සම්පන්න ලෙස, තිරසාර අරමුණින් ඉදිරිය බලා ගමන වේගවත් කළ යුතු කඩ ඉමකටය.

     

    පසුගිය ජනවාරි පළවැනිදා මා ඔබට පිරිනැමූ අවුරුදු සුබපැතුම් පතින් අවධාරණය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස, දුෂණය සහ භීෂණයේ නිමාව, සංහිඳියාව සේම බිඳී ගිය ජාත්‍යන්තරයේ හොඳ හිත නැවත ඇති කර ගැනීම වැනි සාධනීය ප‍්‍රතිලාභ අද අපි අත් විඳින්නේ ජනවාරියේ ඔබ එළැඹි අධිෂ්ඨානයේ විපුල ප‍්‍රතිඵල ලෙසිනි.

     

    එදවස ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින්ම රකිමින් ඔබට දුන් පොරොන්දු ඉටු කරමින් 2015 ඔබේ ජයග‍්‍රහණයේ වසර බවට පත් කළෙමි.

     

    එළැඹි 2016 වසර ඔබට ද, අපට ද, අවිවේකී වසරක් වනු නිසැකය. මිලියන විසිදෙකක ජනතාවගේ අනාගතය උදෙසා අප ඇරඹූ යෝධ වැඩපිළිවෙළ ඔස්සේ, අනවරත ගමනක, අප නිරන්තරව නිරත විය යුතුය.

     

    අපගේ යහපත් ආකල්ප මෙන්ම අවෛරී චේතනා ද බලය වැළඳ ගැනීම නොව බලය අත් හරිමින් ජනතාව බලගැන්වීමේ කාර්ය සාධනය ද සමග අප ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ චිරාගත හැඩතලය සපුරා වෙනස් කළෙමු. ඒ සියල්ල එළැඹෙන නව වසරේ න්‍යාය පත‍්‍රය හා සමග ද සබැඳිය.

     

    ජයග‍්‍රහණයේ සමස්ත අස්වැන්න නෙළිය හැකි වන්නේ, අප එදා බැඳි විශ්වාසයෙන්, බැඳීමෙන් එක්ව, සාමූහිකත්වයෙන් ඉදිරි පියවර ගැනීම තුළිනි.

     

    එහෙයින්ම, නව වසරේ අපගේ පොදු අධිෂ්ඨානය විය යුත්තේ, එකමුතු බව සහ එතුළින් ශක්තිමත් වන සාමූහිකත්වයේත් සහජීවනයේත් සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමය.

     

    එකී අධිෂ්ඨානයන් ද පෙරදැරිව ප‍්‍රාර්ථනා දිදුළන නව වසරකට පළමු පියවර තබන ඔබට සහ ඔබේ ආදරණීයයන්ටත් නිදුක් නිරෝගී සෞභාග්‍යමත් වසරක් වේවායි ප‍්‍රාර්ථනා කරමි.

     

    සුඛී දීඝායුකෝ භව

     

    තෙරුවන් සරණයි!“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya