මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසුරුවා හැර නැති පළාත් පාලන ආයතනවල කාලය මාස 6කින් දීර්ඝ කෙරේ

    දෙසැම්බර් 27, 2015

    දැනට විසුරුවා හැර නොමැති සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයේ ඉදිරි සංශෝධන වෙනුවෙන් එලෙස විසුරුවා හැර නොමැති සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කීරමට තීරණය කළ බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කෝට්ටේ නගර සභා බල ප‍්‍රදේශය තුළ වාර්ෂිකව පාසල් දරුවන්න් 18,000 ක් සඳහා පොත් කට්ටල බෙදාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට ඊයේ (26) පෙරවරුවේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදී එක් වෙමිනි.

     

    පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයේ කොට්ඨාස නිර්ණය පිළිබද මතුවූ යම් යම් මතබේද හේතුවෙන් ඒ සදහා සංශෝධන සිදු කිරීමට නව රජය තීරණය කළ අතර ඒ වෙනුවෙන් වෙනම කමිටුවක්ද පත් කර අභියාචනා කැඳවන ලදී. ඒ අනුව අභියාචනා 2000 ක් පමණ මේ වන විට කමිටුවට ලැබී ඇති අතර ඒවා විමර්ශනය කර නව සංශෝධන සිදු කිරීම සඳහා මාස දෙක තුනක කාලයක් ප‍්‍රමාණවත් නොවන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    මේ වන විට විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන ගත් විට සිදුව තිබෙන්නේ විසුරුවා හැරීමක් නොව නිල කාලය අවසන් වීමක් බවද සඳහන් කළ ජනාධිපතිතුමා එම පළාත් පාලන ආයතනවලද නිල කාලය මාස එක හමාරකින් දීර්ඝ කීරීමට රජය එදා කටයුතු කළ බව ප‍්‍රකාශ කළේය.

     

    පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන මේ සියල්ල ගත්විට එහි කාර්යක්ෂමතාවය රැදී පවතින්නේ මහජන නියෝජිතයින් මත බව පැවසූ ජනාධිපතිතුමා නිළධාරින් අතින් සිදුවන්නේ සැලසුම් කි‍්‍රයාත්මක කිරීම සහ ප‍්‍රායෝගිකයව ඒවා සමාජය තුළට ගෙන යාම පමණක් බවද ප‍්‍රකාශ කළේය.

     

    පළාත් පාලන ආයතනවල විෂය ක්ෂේත‍්‍රය කිසිදු අයුරකින් සීමා නොවන බව පැවසූ ජනාධිපතිතුමා පළාත් පාලන පනත සහ ඉන් එහා ගිය සීමාවන්තුළදී මහජන අවශ්‍යතා ඉටු කිරීමෙහිලා පුළුල් කාර්ය භාර්යක් ඉටු කිරීමට පළාත් පාලන ආයතනවලට හැකියාවක් තිබෙන බවද කියා සිටියේය.

     

    පළාත් පාලන ආයතන තුළින් දේශපාලනයට පිවිසි බොහෝ අය සිය නිර්මාණශිලි භාවයන් සහ හැකියාවන් තුළින් රටේ රාජ්‍ය නායකත්වය දක්වා ගමන් කර තිබෙන බව සිහිපත් කළ ජනාධිපතිතුමා සිය දක්ෂතා සහ හැකියාවන් තුළින් රටේ පොදු ජනතාව වෙනුවෙන් ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කිරීමට සියලු පළාත් පාලන නියෝජිතයින් කැපවිය යුතු බවද ප‍්‍රකාශ කළේය.

     

    දේශපාලනඥයා සෑම අවස්ථාවකම විවේචනයට ලක්වන බවත්, සුථතරයක් කරන වැරදි අනෙකුත් මහා පිරිසක් යට කරගෙන සමාජයේ විවේචනයට සහ අපවාදයට ලක්වන බවත් මෙහිදි පැවසූ ජනාධිපතිතුමා වැරදි කරන සහ වැරදි නොකරන දේශපාලඥයින් තෝරා බේරා වෙන් කර ගැනීමට ජනතාව කටයුතු කළයුතු බවද ප‍්‍රකාශ කළේය.

     

    නැණසර අත්වැල 2016, නමින් මෙම පොත් බෙදා දීමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර කෝට්ටේ නගර සභා බල ප‍්‍රදේශය තුළ ඉඩම්ලාභින් වෙත ඉඩම් හිමිකම් බලපත‍්‍ර ප‍්‍රදානය කිරීමද මේ හා සමගාමීව සිදු විය.

     

    අසිරිමත් කෝට්ටේ, ග‍්‍රන්ථයද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්විණි.

     

    අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන්ද කෝට්ටේ නගරාධිපතිවරයා ඇතුළු නගරික මන්ති‍්‍රවරුන් සහ ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya