මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්‍යෝන්‍ය ළබැඳියාව සහජීවනයෙන් ප‍්‍රභාමත් කරන සංහිඳියාව නත්තල තුළින් දකින විශ්ව ලකුණක් - ජනපති

    දෙසැම්බර් 25, 2015

    අසල්වැසියන් සහ අවශේෂ සමාජය කෙරෙහි පේ‍්‍රමය ද, අන්‍යෝන්‍ය ළබැඳියාව ද සහජීවනයෙන් ප‍්‍රභාමත් කරනු ලබන සංහිඳියාව ද අප නත්තල තුළින් දකින විශ්ව ලකුණ වේ යයි යේසුස් කි‍්‍රස්තුන් වහන්සේගේ උපත සිහිපත් කරමින් කිතුනු බැතිමතුන් විසින් සමරන නත්තල් උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.

    එය කවර රටක් වුවද, කවර ජාතියක් වුවද, අගය කළ යුතු වඩවඩාත් පෝෂණය කළ යුතු සාර්වත‍්‍රික මෙන්ම සර්වකාලීන සාධනීය ගුණාංගයක් බවත් එම ගුණය සාක්ෂාත් කර ගන්නා ප‍්‍රමාණයට සාපේක්ෂව ලෝකය පුරා ගිනි අවි නිහඬවනු ඇති අතර සාමයේ සිසිලස හැම හදවතකම ලැගුම් ගනු ඇතැයි එම පණිවුඩයේ තවදුරටත් සඳහන් කරයි.

    නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ පණිවුඩය :

    අතීත මානවයා ශිෂ්ටාචාරය කරා එන ගමනේදී, ඔහුට යායුතු මග කියාදුන් නැකැත් තරු බවට පත් වූයේ ආගමික ශාස්තෘන් වහන්සේලාය. කවර ආගමක, දර්ශනයක වුවද හරය පදනම්ව ඇත්තේ මිනිසාගේ යහපත සහ යහගුණය අරමුණු කර ගනිමිනි. වසර දහස් ගණනක් මුථල්ලේ ජනසමාජයන් අතර බහුමානයට පාත‍්‍රවෙමින් ජනතාවගෙන් පිදුම් ලබමින් එවන් ආගම් තිරසරව පවතින්නේ සමාජ ප‍්‍රගමනයට දායක වීමේ මහානිශංස ගුණ මහිමය විදහා දක්වමිනි.

    දිළිඳු ගවලෙනක පීඩිතයන්ගේ ඇසුරේ උපත ලද යේසුස් වහන්සේ දුකෙන් ඉපිද, දුක අත්විඳ ජීවිතය ගැඹුරින් හැදැරූ ආගමික නායකයෙකු ලෙසින් ලොව අප‍්‍රමාණ බැතිමතුන්ගේ භක්තියට හා වන්දනාවට පාත‍්‍ර වන්නේ මනුෂ්‍යත්වය විෂයෙහි උන්වහන්සේ තුළ පැවති පුළුල් දැක්ම නිසාය.

    එවැනි උතුමෝ නිසැක ලෙසම මනුෂ්‍යත්වය අතික‍්‍රමණය කරති. යහපත සාධනයෙහිලා ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වන්නාවූ එවන් ජීවිත මිනිසා මිහිපිට වෙසෙන තුරු ඔවුනට, මිනිස්කමේ අසීමිත ගැඹුර ද, එහි පරමාදර්ශී ගුණාංග ද කියාදෙනු ලැබේ.

    අසල්වැසියන් සහ අවශේෂ සමාජය කෙරෙහි පේ‍්‍රමය ද, අන්‍යෝන්‍ය ළබැඳියාව ද සහජීවනයෙන් ප‍්‍රභාමත් කරනු ලබන සංහිඳියාව ද අප නත්තල තුළින් දකින විශ්ව ලකුණ වේ. එය කවර රටක් වුවද, කවර ජාතියක් වුවද, අගය කළ යුතු වඩවඩාත් පෝෂණය කළ යුතු සාර්වත‍්‍රික මෙන්ම සර්වකාලීන සාධනීය ගුණාංගයකි. එම ගුණය සාක්ෂාත් කර ගන්නා ප‍්‍රමාණයට සාපේක්ෂව ලෝකය පුරා ගිනි අවි
    නිහඬවනු ඇති අතර සාමයේ සිසිලස හැම හදවතකම ලැගුම් ගනු ඇත.

    එවන් උත්තරීතර සමාජයක සිහිනය සැබෑ කරමින් මියුරු රිදී සීනු නාදය මෙවර නත්තලෙහි හැම නිවහනකම රැව් නැගේවා.

    ඔබ සැමට සුබ නත්තලක් !

    මෛත‍්‍රීපාල සිරිසේන

    2015 දෙසැම්බර් මස 23 වන දින

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya