මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ සිට ක්‍රීඩාව සංවර්ධනයට විශේෂ ආයතනයක් - අගමැති

    දෙසැම්බර් 21, 2015

    ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා විශේෂ ආයතනයක් ලබන වසරේ සිට ඇතිකරන්නට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    ඊයේ (20) දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රිඩාංගනයේ පැවති 41 වන ජාතික ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ බව පැවසීය.

    අළුත් ක්‍රිඩාවලට අවතීරණය විය යුතු කාලය එළඹ ඇති බවත් ජාතික මට්ටමින් පමණක් පැවැත්වෙන එල්ලේ තරග ජාත්‍යන්තරයට ගෙන යා යුතු බවත් බේස් බෝල් වැනි විදෙස් ක්‍රීඩා මෙරට තුළ ප්‍රචලිත කර ජාත්‍යන්තර තරග වලට ක්‍රීඩකයන් යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පහදා දුන්නේය.

     

    අග්‍රාමාත්‍යවරයා එහිදී සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය.

     

    “අද 41 වන ජාතික  ක්‍රීඩා උළෙල ජාතික ආණ්ඩුවක් යටතේ පැවැත්වෙනවා. අද ප්‍රධාන පක්‍ෂ දෙකම එකට එකතු කොට රජයක් පිහිටුවා ගෙන ඇත්තේ රට දියුණු කරන්නටයි. රට දියුණු කරන්නට ඇත්තේ ආර්ථික වශයෙන් පමණක් නොවෙයි. අධ්‍යාපන හා ක්‍රීඩා යන අංශවලින්ද දියුණු කළ යුතුයි. අපේ රටට අන්තර්ජාතික වශයෙන් විශේෂ කීර්තියක් අත්කර ගැනීමට නම් අපි ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් රට දියුණු කළ යුතුයි. ඒ දියුණුව පසුගිය කාලයේ හරියාකාරව සිදුවුණේ නැහැ.  

     

    වර්තමානයේ ඇති ගැටළුව එයයි. ක්‍රීඩා සංගම් රාශියක් තමන් කළ ක්‍රීඩාවලින් ඉවත්වී බොක්සිං ක්‍රීඩාවට නැඹුරු වුණා. අපි එම නිලධාරින්ගෙන් දුටුවේ සංවර්ධනයක් නොව ඇනකොටා ගැනීමක් පමණයි. මේ සියළු තත්වයන් අපි නැවත නිවැරදිව කළ යුතුව තිබෙනවා. ක්‍රීඩාවට වෙන්කළ මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. පළාත් සභාවලට ජාතික මට්ටමින් කිසිදු මග පෙන්වීමක් සිදු කළේ නැහැ. සෑම දෙනාම කළේ තමන් කැමති අන්දමට වැඩ කටයුතු කිරීම පමණයි. ඒ කාලය දැන් අවසන් කළ යුතුව තිබෙනවා. අපි දැන් ක්‍රිඩාවලට සහභාගිවන්නේ ජාතික මට්ටමෙන් පමණක් නොවෙයි. කලාපීය මට්ටමෙන් දකුණු ආසියාවේ, ආසියානු අර්ධද්වීපයේ, පොදු රාජ්‍ය මණ්ඩල ඔලිම්පික් සහ ඊට අමතරව ක්‍රිකට් ක්‍රීඩාව වැනි තරගවලින්. ඊට අමතරව එක් එක් අංශවල ක්‍රිකට්, ටෙනිස් වැනි ක්‍රිඩාවලින් ඒ අය වෙනම තරග පවත්වනවා.

     

    එමනිසා අපි මේවායේ යම්කිසි ප්‍රගතියක් පෙන්නුම් කළ යුතුව තිබෙනවා. සෑම දෙයක්ම කිරීමට අපහසු වුවත් සමහර දේවල් කරන්නට පුළුවන්. අන්න ඒ ආකාරයට කටයුතු කරනවා නම් තවත් මුදල් ලබාදීමට හැකියාව තිබෙනවා. ඒ නිසා අද අපි ඉලක්ක කරගෙන සිටින්නේ වර්තමානයේ නොවෙයි ඊළඟ අවුරුදු දොළහ තුළ හොඳ ප්‍රතිඵල ලබාදීමටයි. 2016 සිට බලන කල්හි පළමුවෙන්ම ඇත්තේ ඔලිම්පික් තරග. 2028 වන විට සෑම අංශයකින් අප ප්‍රතිඵල පෙන්විය යුතුයි.

     

    ඒ සඳහා අපේ ක්‍රිඩා ආමාත්‍යවරයා බොහෝ වෙහෙස මහන්සි වී තිබෙනවා. ක්‍රිඩා සැලසුම් සිදුකරගෙන යනවා. ක්‍රීඩාව ගම් මට්ටමින් සිදු කරන්නේ නම් අපේ පාසලූත්, තරුණ සේවා සභාවත් සියල්ලම එකතු කරගෙන ගම් මට්ටමින් දියුණු කිරීම කළ යුතුව තිබෙනවා. ක්‍රීඩාව කරන අයටත් පාසල්වලට ගොස් යම්කිසි ලකුණු ලබාගැනීමේ ක්‍රමවේදයක් කළ යුතුයි.  සෑම දෙනාම බලන්නේ තමන්ගේ අනාගත දියුණුව ගැනයි. අළුත් ක්‍රිඩා සංවර්ධන නීතියක් ඇමතිතුමා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහිදි මේ කටයුතු කිරීම සඳහා ස්වාධීන අධිකාරියක් ඇතිකිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා.

     

    ඒ සමඟම සෑම ක්‍රිඩාවකටම, සෑම සංගමයකටම සැලැස්මක් හා ඉලක්කයක් තිබිය යුතුයි. වසර දෙකෙන් දෙකට ප්‍රගතියක් නැතිනම් මං හිතන්නේ වසර 4ක් යන කොට ඒ පිළිබද ක්‍රියා කරන්නට අදාළ පියවර ගන්නට ඇමතිවරයාට අවස්ථාව ලැබෙයි. ඕනෑම ක්‍රිඩාවක ඕනෑම සංගමයක තමන් තනතුරු දරනවා නම්, වගකීම් බාරගන්නවා නම් ඒ වැඩකටයුතු කරන්නට තිබෙනවා. ඒ වගේම ජාතික අමාත්‍යාංශයත්. පළාත් අමාත්‍යාංශ නමයෙත් මේ වැඩකටයුතු කරගන්න ඕනෑ.

     

    ක්‍රීඩාව සංවර්ධනය කිරීම සදහා අපි විශේෂ ආයතනයක් ලබන වසරේ සිට අපි ඇතිකරන්නට බලාපොරොත්තු වෙනවා.  ඇමතිතුමාගේ කතාවේ සදහන් කළ පරිදි ක්‍රිඩා පුහුණුකරුවන් පිළිබද සඳහන් කළ ප්‍රශ්න ගැන අපි විසදාගත යුතුයි. ඒ නිසා මේ සඳහා දීර්ඝ කාලීන ඉලක්කයක් තිබිය යුතුයි.  එම ඉලක්කය නම් ලංකාවේ තරුණ තරුණියන් ක්‍රිඩාවෙන් දක්‍ෂයන් බවට පත්කොට ලංකාවට කීර්තියක් ගෙනවිත් දීමයි. ක්‍රීඩාව හැකියාවක් හා  දක්‍ෂකමක්. ඒ දක්‍ෂකම් අපේ රජයත්, සමාජයත් පිළිගන්නවා. ඒ  දක්‍ෂයන්ට යහපත් අනාගතයක් අත්කරදීම රජයේත්, පෞද්ගලික අංශයේත් විශේෂ වගකීමක් බව මම ප්‍රකාශ කරන්න කැමතියි.

     

    ඒ නිසා මේ වැඩසටහන අපි ආරම්භ කළ යුතුයි. අළුත් ක්‍රිඩාවලට අවතීරණය විය යුතුයි. එල්ලේ තරග දැනට අපේ ජාතික ක්‍රිඩාවක්. නමුත් ලෝකයේ රටවල් ගණනාවක එල්ලේ තරග පවත්වන්නේ නැහැ. නමුත් අපි එල්ලේ තරග දියුණු කරන අතරම අපි අනිකුත් ක්‍රීඩා අතරට යා යුතුයි. මම බේස් බෝල් තරග ලංකාවට ගෙන ඒමට සාකච්ඡා කොට තිබෙනවා. අපි ඒකට පුරුදු වුණාම ඒකට ආධාර ලබාගත්තාම ක්‍රිකට්වලින් දියුණු වුණා වගේ එමගිනුත් දියුණු වෙන්න පුළුවන්. වෙනත් ක්‍රිඩාවන් තිබේනම් අපි ඒවාත් දියුණු කරමු. එමගින් පාසලක විස්සක තිහක කණ්ඩායමකට දියුණුවක් ඇති කරගන්න පුළුවන්. රැකියාවකට යන්න පුළුවන්. ප්‍රසිද්ධියක් ලබාගන්න පුළුවන්. ඔලිම්පික් ක්‍රීඩාවල තරග වට ගණනාවක් තිබෙනවා. අපි සෑම ක්‍රීඩාවක්ම දියුණු කරන වැඩසටහනක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.

     

    අපේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විශේෂයෙන්ම ක්‍රිඩාව දියුණු කරන්නට අවශ්‍ය බව ප්‍රකාශ කළා. අපි ඒ වැඩසටහන යටතේ මේ රටේ ක්‍රිඩාව දියුණු කිරීමේ අඩිතාලම දමන්නට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරමින් මේ සඳහා මට ආරාධනා කිරීම පිළිබදව ස්තුති වන්ත වෙමින් තරග සඳහා සහභාගි වූ සැමටත් ස්තුති කරමින්, ජයග්‍රහකයන්ට සුභ පතමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා.“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya