මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 30ක යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව සාමය දිනාගැනීම අවශ්‍යයි - අගමැති

    දෙසැම්බර් 21, 2015

    වසර තිහක යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව සාමය දිනාගැනීම අවශ්‍ය බව පෙන්වාදෙන ඒ මහතා හමුදාවේ ප්‍රතිරූපය ගොඩනැඟිය යුතුවන අතර අවුරුදු 30 යුද්ධයෙන් බෙදුණු උතුරු නැඟෙනහිර සටන් භූමිවල දී නිවාස අහිමි වූ ජනතාව, දකුණේ ජීවිත අහිමි වූ ජනතාව මෙන්ම ඊට ප්‍රථම ජාතිවාදය නිසා බෙදුණු ජනතාව එකට එකතු කොට රට ගොඩනැඟීම අවශ්‍ය වන බවද පෙන්වා දෙයි.

    අගමැතිවරයා මේ බව සදහන් කළේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව අවසන් කළ කෙඩෙට් නිලධාරින් 161 දෙනෙකු විසිරයාමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

     

    යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උත්සව අවස්ථාවට කැඳවාගෙන පැමිණි අතර අගමැතිවරයා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදුකළේය. මාලදිවයින් කෙඩෙට් නිලධාරීයෙකු ද ඇතුලත් පාඨමාලා අංක 81, 81 බී, කාන්තා පාඨමාලා අංක 12 හා පාඨමාලා අංක 55 (ස්වෙච්ඡා) හි පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරින් හා නිලධාරිණියන් 161 දෙනෙකු මෙහිදී යුද හමුදා සේවයට එක්වූහ. ඒ අනුව පාඨමාලා අංක 81 යටතේ 32, පාඨමාලා අංක 81 බී යටතේ 103, පාඨමාලා අංක 55 (ස්වෙච්ඡා) හි 23 දෙනෙකු සහ කාන්තා පාඨමාලා අංක 12 යටතේ පුහුණුව ලැබූ තිදෙනෙකු වශයෙන් මෙහිදී විසර ගියහ.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ පසුගිය 2009 වර්ෂය දක්වා සටන් කළේ විසිවැනි ශත වර්ෂයේ වෙනත් රාජ්‍යයක් අවශ්‍යයැයි පැවසූ ත්‍රස්තවාදීන් සමඟ බවත් ඒත් දැන් අපි ඉදිරියේ තිබෙන අභියෝග ඊට වඩා වෙනස් වන බවත්ය. යුද්ධ කිරීම ද ක්‍රමානුකූලව වෙනස් වන බව සඳහන් කළ ඒ මහතා අපි එතනට යා යුතු බවද ඒ සඳහා යුදමය වශයෙන් දියුණු රටවල් සමඟ සබඳතා පවත්වා ගැනීම අවශ්‍ය වන බවද කීවේය.

     

    ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, බටහිර රටවල් සමඟ සබඳතා වැදගත් බවද චීනය, ඉන්දියාව, පාකිස්තානය සමඟ ද සබඳතා අවශ්‍ය වන බවද කී අගමැතිවරයා යුද තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින රටවල් පිළිබඳව ද අවධානය යොමුකළ යුතු බව පැවසීය. ජාත්‍යන්තර ලෝකයේ පැමිණෙන නව යුද ක්‍රම, අන්තර්ජාල ක්‍රම අනාගත යුද වැඩසටහන් මෙන්ම නව දියුණුව ආදිය අපි දැනගෙන ක්‍රියා කළයුතු බවද ඒ හේතුවෙන් අනාගත ආරක්ෂක සැලසුම් ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව ආරම්භ කරන්නට අපේක්ෂා කරන බවද කී ඒ මහතා 21 වැනි ශත වර්ෂයට සුදුසු ආකාරයට හමුදාවේ නවීකරණය අපි අරඹන බවද ඒ වෙනුවෙන් සාහාය ලබාදෙන බවද සදහන් කළේය.

     

    නව කෙඩෙට් නිලධාරින්ගේ හමුදා පෙළපාලිය නිරීක්ෂණය කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ අතර, එයට ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හා යුද හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.ඩී.බී රාජගුරු මහත්වරු ද එක්වූහ. අනතරුව හොඳම කෙඩෙට් නිලධාරීන් වෙත සම්මාන පිරිනැමූහ. ඊට අමතරව සෑම අතින්ම අතිශූර කණ්ඩායම් වෙත වර්ණ ධජ පිළිගැන්වීම සහ අගමැතිවරයාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යා පීඨ පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කිරීම ද සිදුවිය.

     

    මේ විසිරයාමේ පෙළපාලියට අනතුරුව යුද හමුදා විද්‍යාපීඨ ක්‍රීඩාගාරයේ දී මේ අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමාපියන් විසින් ඔවුන් ජනාධිපති අධිකාරියට පත්වීම පිළිඹද වු නිල ලාංඡන මේ නිලධාරීන්ගේ උරහිස් මත පැළදවීමේ උත්සවය පවත්වන ලදී.

     

    නීතිය හා සමාය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya