මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා නියෝජනය පළාත් පාලන මට්ටමෙන් ඉහළ නැංවීම ඔස්සේ අනාගතයට ශක්තිමත් පදනමක් සැකසෙනවා

    දෙසැම්බර් 11, 2015

    කාන්තා නියෝජනය පළාත් පාලන මට්ටමෙන් ඉහළ නැංවීම ඔස්සේ අනාගතයට ශක්තිමත් පදනමක් සැකසෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසී ය.

    ඒ අභියෝගය ජය ගැනීමට දන් අපට හැකිවී තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාව ඉදිරියේ තැබූ ඒ පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහා මුල් පියවර දැන් අප ගෙන තිබෙනවා. පලාත් පාලන මට්ටමෙන් 25% ක කාන්තා නියෝජනයක් සඳහා වන යෝජනාව අප පසුගිය කැබිනට් මණ්ඩලයේදී සම්මත කර ගත්තා යැයි ද අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය කරමින් පැවසි ය.

     

     

    අග්‍රාමාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ ය.


    ගරු කතානායකතුමෙනි,
    ලාංකේය දේශපාලනයේ කාන්තාවන් සඳහා වැඩි ඉඩ කඩක් ලබා දීමේ මුල්ම පියවර ගැනීමට අප දැන් මුල පුරා ඇති බව මම මේ සභාවට සතුටින් දැනුම් දෙන්නට කැමතියි. ඊට අදාළ තීරණය පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අප සම්මත කරගත්තා.

     

    විශේෂයෙන්ම ආසියානු රටවල කාන්තාවන් දේශපාලනයට එක්වී තියෙන්නේ පවුල් පසුබිම මතයි. ස්වාමියාගෙන් පසුව බිරිඳ. පියාගෙන් පසුව දියණිය. සොහොයුරාගෙන් පසුව සොහොයුරිය ආදී වශයෙන්. ඊට පිටින් දේශපාලනයට එක්වීමේ අවස්ථා අපේ රටවල ඇත්තේ ඉතා අඩුවෙන්. මේ සඳහා විවිධ සමාජ, ආර්ථික හා දේශපාලනික හේතු ඇති බව අප දන්නවා.මේ සීමාවන් තුළ වුව ද, ආසියාතික කාන්තාවන් දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට ගොස් තියෙනවා. ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කරන්නට අපේ රටට හැකි වුණා. ඒ විතරක් නෙවෙයි, විධායක ජනාධිපතිනියක්ද අපේ රටෙන් බිහි වුණා. අසල්වැසි ඉන්දියාවෙන්ද අගමැතිනියක් බිහි වුණා. ජනාධිපතිනියක් බිහිවුණා. බංගලා දේශයේ අගමැතිවරියන් දෙදෙනෙක් බිහිවුණා.

     

    ඒ අකාරයෙන් ලැබුණු සීමිත අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නට අපේ රටේත්, අසල්වැසි රටවලත් කාන්තාවන් සමත් වී තියෙනවා. නමුත් අපේ රටේ පවත්නා සමාජ පරිසරය අනුවත්, මැතිවරණ ක්‍රමය අනුවත්, කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට ඇති හැකියාව ඉතා අඩුයි.

     

    ගරු කතානායකතුමෙනි,
    එක්සත් ජාතික පක්‍ෂය මේ තත්වය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලේම ගැඹුරින් සොයා බැලූ බව ඔබත් දන්නවා. රෝසි සේනානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුමිය මේ සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. විවිධ කාන්තා සංවිධාන සහ කාන්තා ක්‍රියාකාරිනියන් සමග සාකච්ඡා කරමින් දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ ක්‍රමවේදයන් ගැන එතුමිය සොයා බැලූවා.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රී තුමියත් එතුමියට විශාල සහයක් ලබා දුන්නා. සේනානායක මහත්මිය 2013 අගෝස්තු 07 වන දා පුද්ගලික යෝජනාවක් ලෙස පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට සංශෝධනයක් ගෙන ආවා. කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා වූ ඒ සංශෝධනය එවක පාර්ලිමේන්තුව සලකා බැලූවේ නෑ.

     

    ජනවාරි 08 වන දා විප්ලවය සඳහා පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පෙළ ගැසුණු විවිධ සංවිධාන සහ දේශපාලන පක්‍ෂ සමගත් අප මේ තත්වය ගැන සාකච්ඡා කළා. දේශපාලනයේදී කාන්තා නියෝජනය වැඩි කරන බව අප ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියේ පොරොන්දු වුණා.

     

    ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පිහිටුවන ලද දින සියයේ ආණ්ඩු කාලය තුළදීත් අප කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයේ නිසි තැන ලබා දීම පිළිබඳව දිගින් දිගටම කරුණු විමසා බැලූවා.ඒ අනුව අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අප ඉදිරිපත් කළ “මාස හැටකින් අලූත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අප මෙසේ සඳහන් කළා.

     

    “පළාත් පාලන මට්ටමෙන් ජනතා නියෝජිතයන්ගෙන් 25% ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමෙන්ද, මැතිවරණ සඳහා මැතිවරණ ලැයිස්තු වලින් අවම වශයෙන් 25% ක් කාන්තාවන්ට ලබා දෙන ලෙස දේශපාලන පක්‍ෂ දිරි ගැන්වීමෙන් ද, කාන්තාවන්ට දේශපාලන නියෝජනය ලැබෙන බවට තහවුරු කිරීම සඳහා කටයුතු කරන්නෙමු.”

     

    සම්මුතිවාදී යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අප ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් සමගත්, මේ පිළිබඳව උනන්දුවක් දැක්වූ අනෙකුත් දේශපාලන කණ්ඩායම් සමගත් සාකච්ඡා කළා. එතැනදී අප හමුවේ තිබූ ප්‍රධාන ගැටළුව වූයේ කිසිවෙකුටත් අවැඩක් නොවෙන පරිදි කාන්තා නියෝජනය වැඩි කරන ක්‍රමවේදය හඳුනා ගැනීමයි.

     

    කාන්තා නියෝජනය වැඩ කිරීමේදී, මෙතෙක් දේශපාලනයේ නියුතුව සිටි පිරිමි අපේක්‍ෂකයන්ගේ අවස්ථා අහිමි වෙතැයි කියා
    සමහරු කල්පනා කළා. කාන්තාවන්ට මේ මැතිවරණ ක්‍රමය තුළ තරග කිරීම අසීරු නිසා කාන්තාවන්ගේ අවස්ථා සීමා
    වෙතැයි කියා තවත් සමහරු කල්පනා කළා. ඒ නිසා කිසිදු පාර්ශවයක අවස්ථා අහිමි නොවන පරිදි නව ක්‍රමවේදයක් සකස්
    කර ගැනීම අප ඉදිරියේ තිබූ අභියෝගය වුණා.

     

    ඒ අභියෝගය ජය ගැනීමට දන් අපට හැකිවී තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාව ඉදිරියේ තැබූ ඒ පොරොන්දුව ඉෂ්ට
    කිරීම සඳහා මුල් පියවර දැන් අප ගෙන තිබෙනවා. පලාත් පාලන මට්ටමෙන් 25% ක කාන්තා නියෝජනයක් සඳහා වන
    යෝජනාව අප පසුගිය කැබිනට් මණ්ඩලයේදී සම්මත කර ගත්තා.

     

    ගරු කතානායකතුමෙනි,
    ඇත්තටම මේ මූලික පියවරක්. මේ ආකාරයෙන් කාන්තා නියෝජනය පලාත් පාලන මට්ටමෙන් ඉහළ නැංවීම ඔස්සේ
    අනාගතයට ශක්තිමත් පදනමක් සැකසෙනවා. ඒ පදනම මතින් කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය තව තවත් ඉහළ
    නැංවීමට අවකාශ සැලසෙනවා.

     

    මේ යෝජනාව අප ළඟදීම පක්‍ෂ නායකයින් සමගත් සාකච්ඡා කරනවා. ඉන් අනතුරුව ලබන ජනවාරි මාසයේ
    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ අවස්ථාවේ මේ යෝජනාව සම්මත කර ගැනීමට සහය ලබා දී, කාන්තාවන්ට
    දේශපාලන ක්ෂේත්‍රයේ නිසි තැන ලබා දීමේ සැලැස්මට දායක වන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
    කාන්තා නියෝජනය වැඩි කරලීමේ යෝජනාව යථාර්ථයක් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී, පලාත් පාලන
    අමාත්‍යතුමාගෙනුත්, වනිතා කටයුතු ඇමතිතුමියගෙනුත්, මැතිවරණ කොමසාරිස් තුමාගෙනුත් ලැබුණු සහයෝගය අප
    ඉතාම අගය කරනවා.

     

    ඒ වගේම මේ වෙනුවෙන් වෙහෙසුණු රෝසි සේනානායක මහත්මියටත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රී තුමියටත්,
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයටත්, කාන්තා සංවිධාන ක්‍රියාකාරිනියන්ටත්, මගේ විශේෂ ස්තුතිය පළ කර සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya