මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිසිය ජාත්‍යන්තර තත්ත්වයට ගෙන ඒමට සැලසුම් සකස් කර තිබෙනවා

    දෙසැම්බර් 04, 2015

    අපේ පොලිසිය අපි ජාත්‍යන්තර තත්ත්වයට ගෙන ඒමටත් දැනටමත් සැලසුම් සකස් කරලයි තියෙන්නේ. එහි පළමු පියවර ලෙස එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා යෙදවීමට පොලිස් විශේෂ කාර්ය බලකාය දැනටමත් සූදානම් වෙනවා යැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (04) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථවේ විවාදයේ අඳහස් දක්වමිනි

    ආරක්ෂක අමාත්‍යාංශය,අධිකරණ අමාත්‍යාංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යාංශ වල වැයශීර්ෂ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.


    සම්මුතිකවාදී ජාතික රජයේ අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන විෂය භාර
    අමාත්‍යවරයා ලෙස මේ සභාවේ අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම සතුටට කරුණක්.



    පසුගිය පළමු වැනිදා මා මේ ගරු සභාවේ ප්‍රකාශ කළ ආකාරයට රැඩිකල් අයවැයක් වූ මෙවර අයවැය අද සමාජය තුළ සංවාදයකට
    ලක්වෙමින් පවතිනවා. මීට පෙර පසුගිය රජය ඉදිරිපත් කළ අයවැය සඳහා එවැනි සංවාදයක් සමාජය තුළ ගොඩනැගුනේ නැහැ. ඒ අනුව
    අයවැය පිළිබඳව සමාජය තුළ සංවාදයක් ගොඩනැගීම වඩාත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙසයි මම දකින්නේ.

     



    එවන් වටපිටාවක් තුළ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා ලෙස අපගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය
    පිළිබඳවත් මේ සභාව තුළ හොඳ සංවාදයක් ඇතිවනු ඇති බව මම විශ්වාස කරනවා.



    පළමුවෙන්ම මම මේ සභාවට කියන්න කැමතියි අපේ රටේ තිරසාර සංවර්ධනය උදෙසා සමාජීය සංවර්ධන ඉලක්ක ලඟා කර ගන්න නම්
    නීති ගරුක ගුණ ගරුක පුරවැසියන්ගෙන් යුත් සමාජයක් බිහි කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බව. එම ප්‍රතිපත්තිය මත පිහිටාඅපගේ
    මාතෘ භූමියේ නීතිය හා සාමය පවත්වාගෙන යාමත්, සමාජ විනය තහවුරු කෙරෙන පුළුල් ප්‍රතිසංස්කරණ ඇතුළත් උපාය මාර්ග
    ක්‍රියාත්මක කිරීමත්, දැනට ස්ථාපිත කර ඇති ජාතික පොලිස් කොමිසමේ උපදෙස් අනුව පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව වැඩි
    දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමත්,සමාජ ව්‍යවසනයක් බවට පත්ව තිබෙන විවිධ අන්දමේ අපරාධ හා
    සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීමට හා මැඩපැවැත්වීමට කටයුතු කිරීමත්, රථවාහන ගමනාගමනය පාලනය කිරීම මෙන්ම
    අන්තරායකාරී ඖෂධ භාවිතය වැළැක්වීම හා පාලනය වැනි කාර්යයන්ට මුල් තැන දී කටයුතු කිරීමත් ඒ සඳහා අවශ්‍ය කාලින වූත් ඵලදායි වූත් තීරණ ගැනීමත්අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා.

     



    පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව සඳහන් කිරීමේදී අපේ පළමු අවධානය යොමු වෙන්නේ එහි කල්පැන ගිය පොලිස් ආඥා පනතටයි.
    මෙම කල් පැනගිය පනත මගින් ක්‍රියාත්මක වන පොලිසිය සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඇතිවු ප්‍රබල බලපෑමක් හේතු කොටගෙන පොලිස් ආඥා පනත සංශෝධනය කිරීමට මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

     



    ඒ වගේම 2015.05.25 වන දින පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ගරු අග්‍රාමාත්‍යතුමා
    නිර්දේශ කළේඒ සඳහා විශේෂඥයිගෙන් යුත් කමිටුවක් පත් කිරීමටත්, නව පොලිස් පනතක් අනුමත කරගෙන කටයුතු කරන
    ලෙසත්ය. ඒ අනුව දැනටමත් නව පනතකෙටුම්පත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙහිදී මෙම විෂය භාරව සිටී ගරු ජෝන් අමරතුංග අමාත්‍යතුමාටත්, ගරු තිලක් මාරපන මැතිතුමාටත් මාගේ ගෞරවය පිරිනමන්න කැමතියි.






    ඒවාගේම ගරු අග්‍රාමාත්‍යතුමා විසින් එදිනම උපදෙස් දුන් පරිදි නිරන්තරයෙන් ඇති වන අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින්
    රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිස් නිලධාරින්ගේ දැනුම හා කුසලතාවයන්ගෙන් සම්පූර්ණ, වෘත්තීමය වශයෙන් සංවර්ධනය විය හැකි පොලීසිය සඳහාම වූ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමේ මූලීක කටයුතුද දැන් ආරම්භ කර තිබෙනවා.




    මම නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමත් සමඟම ගරු අග්‍රාමාත්‍යතුමා මට උපදෙස් ලබා දුන්නේ
    මෙසේ පිහිටුවන පොලිස් විශ්ව විද්‍යාලය ‘‘බ්‍රිතාන්‍යයේ නෝතැම්ටන්“හි ස්ථාපිත කර ඇති පොලිස් හා අපරාධ යුක්ති සේවා
    විද්‍යාලය හා සමාන මට්ටමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. එසේම දැනට පොලිස් සේවයේ සිටින නිලධාරින්ටත්, පොලිස් සේවාව සම්බන්ධ බාහිර උනන්දුවක් දක්වන අයටත්, උසස්පෙළ සමත් අයටත් මේ සඳහා ඇතුළත් වීමට අවකාශ ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දුන්නා.



    ඒ අනුව මධ්‍යකාලින අය - වැය රාමුව තුළ මෙම ව්‍යාපෘතිය ඇරඹීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව මම
    ප්‍රකාශ කරන්නේ ඉමහත් සතුටින්.ඒ විතරක් නොවෙයි ඊට සමානුපාතිකව පොලිස් සේවයට බඳවා ගන්නා නිලධාරීන් සඳහා ද
    නව ක්‍රමවේදයන් සකස් කරන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා මට උපදෙස් ලබාදුන් බව මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතියි.



    ඒ වගේම පොලිස් මහජන සේවාවන් පිළිබඳවත් යමක් කියන්නම්. අපේ රටේ විශේෂයෙන්ම ප්‍රධාන නගරවලප්‍රබල ගැටළුවක්ව පවතින
    රථ වාහන තදබදය සමනය කිරීම සඳහා ඊට සම්බන්ධ වන සියළු ආයතන ඒකාබද්ධ වී සියළු පාර්ශවයන්ට පිළිගත හැකි පරිදි
    ප්‍රායෝගික ක්‍රමවේදයන් සකස් කර සුදුසු යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර මේ වනවිට ගනිමින්තිබෙන බවද මම අද මෙම
    සභාවට දැනුම් දෙන්නේ ඉමහත් සතුටින්.



    එසේම මහජන දුක්ගැනවිලි කඩිනමින් සමනය කිරීම පිණිස 118, 119 දුරකතන සේවාවන්ට අමතරව පොලිස්පතිතුමා විසින්
    ක්‍රියාත්මක කරනු ලබන පොලිස්පති මහජන සහන දිනය, පොලිස්පතිට කියන්න, මහජන සහන මැදිරිය වැනි ක්‍රම ක්‍රියාත්මක
    කිරීම තුළින් මහජනයාට තම දුක් ගැනවිලි හැකි ඉක්මනින් ප්‍රකාශ කිරීමටත්, ඒවා විමර්ෂණය කර සහන සැලසීමටත් හැකි වීම
    මහජනයා ලද මහඟු අවස්ථාවක් ලෙසද මම දකිනවා.



    එහි ප්‍රතිඵලයක් වශයෙන් කාන්තාවන්ට හා ළමයින්ට එරෙහිව සිදුවන අපරාධ වැළැක්වීම පිළිබඳව සුවිශේෂී වැදගත්කමක් හිමිව
    තිබෙනවා. 2014 සැප්තැම්බර් 30 දිනට වාර්තා වූ අපරාධ සංඛ්‍යාව වූ 10,982 ක්.කොහොම වුණත් 2015 සැප්තැම්බර් 30 දිනට එය 10,338 දක්වා අඩු වී තිබෙනවා.

     



    ඒ වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ අඩු වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක
    දෙපාර්තමේන්තුවත්, විශේෂ කාර්ය බලකාය හා සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වල කැපවීම හා විමර්ශන වල
    ප්‍රතිඵලයක් වශයෙන් එම සාර්ථකත්වය ලබාගෙන ඇති බවයි මං විශ්වාස කරන්නේ. ඒ අනුව 2014 සැප්තැම්බර් 30 වන විට 85,262
    ලෙස වාර්තා වූ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ 2015 සැප්තැම්බර් 30 වන විට 79,814 ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා.



    විශේෂයෙන්ම පසුගිය රජය සමයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ ඉහළ යාමේ ප්‍රවණතාවයක් තිබුණා. ඒ වගේම ඒවා මර්දනය කිරීම සඳහා
    පියවර ගැනීමේදී පොලිසිය සහ අනෙකුත් ආයතනවලට එල්ල වූයේ දැඩි බලපෑමක්.


    පොලිස් සේවාවේ යෙදී සිටින නිලධාරීන් පිළිබඳව මම යමක් ප්‍රකාශ කරන්න කැමැතියි. මොකද ප්‍රභූ ආරක්ෂාවඅවශ්‍ය වූවත්, මාර්ග
    ආරක්ෂාව සඳහා වූවත්, විවිධ උත්සව, සැමරුම් දිනයන් හෝ වෙනත් විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වූවත්, විශේෂ ආරක්ෂක රාජකාරීයයි පවසමින් අපි මොවුන්ගෙන් සේවාව ලබා ගන්න පසුබට වන්නේ නෑ. ඒ වගේම තමයි මැතිවරණ සමය. විශේෂයෙන්ම පසුගිය මහ
    මැතිවරණයේදී ගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අවශ්‍යතාවය වූයේ නිදහස් සාමකාමී සාමකාමී මැතිවරණයක්
    පැවැත්වීමයි. ඒ අනුව මෙතෙක් ලංකාවේ ඉතිහාසයේ නිදහස්ම හා සාමකාමීම මැතිවරණය පැවැත්වීමට පොලිස් නිලධාරීන් එදා ලබාදුන්
    සහය සහ කැපවීම ඉතා විශිෂ්ඨයි.



    ඒ නිසාමයිරජය මඟින් පොලිස් නිලධාරීන්ගේ ප්‍රධාන ගැටලුවක්ව පැවතුන ඔවුන්ගේ වැටුප් විෂමතා විසඳන්න කටයුතු කරන්න
    ඉදිරිපත් වුනේ. එහි මුල් පියවර වශයෙන් 2016 වසරේදී ඔවුන්ගේ වැටුප් විෂමතා වෙනුවෙන් අවශ්‍ය ගෙවීම් වලින් 50%ක් සඳහා
    රු.මිලියන 3000 ක් වෙන් කර තිබීම කාලෝචිත තීරණයක් ලෙසයි මා විසින් සලකන්නේ.


    මීළඟට මා මේ ගරු සභාවේ අවධානය යොමු කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ශුන්‍ය පාදක අය -
    වැය ක්‍රමවේදය (Zero Based Budget) පදනම් කර ගනිමින් අපි 2016 වර්ෂය සැලසුම් කරතිබෙන්නේ කෙසේද යන්න පැහැදිලි
    කරන්න.



    මහජනතාව වෙත ඵලදායි සහ ගුණාත්මක භාවයෙන් යුතු කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් දැනට පවතින පොලිස් ස්ථාන 438 ට
    600 ක් දක්වා වැඩි කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන1000 ක අමතර ප්‍රතිපාදන වෙන්කෙරෙන අතර, ඒ සඳහා මෙවර අයවැයෙන්
    අවස්ථාවක් ලබාදීම පිළිබඳව මම මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා.



    එසේම පවතින පොලිස් ස්ථාන සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1000 කුත්, පවත්වාගෙන යනු ලබන පොලිස් ස්ථාන
    නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 375 කුත් වෙන් කර තිබෙනවා.



    ඒවගේම තමයි, පොලිස් නිලධාරින් වෘත්තීමය වශයෙන් සවිමත් කිරීම සඳහා පොලිස් අභ්‍යාස විද්‍යාලය සංවර්ධනය කිරීමට රුපියල්
    මිලියන 900 ක් වෙන් කර තිබෙනවා. ඔවුන්ගේ පුහුණූ කටයුතු සඳහාත් රුපියල් මිලියන 42 ක් වෙන් කරලයි තිබෙන්නේ.ඊට
    අමතරව වෛද්‍ය පහසුකම් වෙනුවෙන් 2014 වර්ෂයේදී වෙන්කර තිබූ රුපියල් මිලියන 320 වෙනුවට 2016 දී අප එය රුපියල් මිලියන 640 දක්වා වැඩි කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි පොලිස් නිලධාරීන්ගේ ආහාර හා නිල ඇඳුම් වෙනුවෙන් 2014 වර්ෂයේ වෙන් කළ රුපියල් මිලියන 1513 වෙනුවට 2016 දී වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 2630 ක්.

     



    මම කියන්න කැමතියි අපේ පොලිසිය අපි ජාත්‍යන්තර තත්ත්වයට ගෙන ඒමටත් දැනටමත් සැලසුම් සකස් කරලයි තියෙන්නේ. එහි
    පළමු පියවර ලෙස එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා යෙදවීමට පොලිස් විශේෂ කාර්ය බලකාය දැනටමත් සූදානම් වනවා.
    ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මාසේ 01 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 320 දෙනෙකු ජගත් සංවිධානයේ සාම සාධක කටයුතු සඳහා පිටත්ව යාමට නියමිතයි. ගරු සභාපතිතුමනි, දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී සාම සාධක
    රාජකාරී සඳහා අඩුම පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති රට ශ්‍රී ලංකාවයි. දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් 51 දෙනෙක් දකුණු සුඩානය, ලයිබීරියාව යන රටවල රාජකාරීයේ නිරත වනවා.



    නමුත් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සාම සාධක රාජකාරී සඳහා යොදවන්නේ විශේෂ ඉලක්කයන් කිහිපයක් සපුරා ගැනීමේ
    බලාපොරොත්තුවෙන් බව මම මේ සභාවට කියන්න කැමතියි. පෙබරවාරි පළමු වැනිදා සාම සාධක කටයුතුවලට පිටත්ව යන
    විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 320 දෙනා අතරින් 140 දෙනෙකු "FPU" (Formed Police Unit) කණ්ඩායම් නියෝජනය
    කරනවා. ඒ වගේම තවත් 140 දෙනෙකු "PGU" (Police Guard Unit) නියෝජනය කරන අතර, 40 දෙනෙකු "SWAT"(Special
    Weapons and Tactics) කණ්ඩායම නියෝජනය කරනවා.



    විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙලෙස සාම සාධක කටයුතුවල නිරතවීමෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්කර ගන්න පුළුවන්. ජාත්‍යන්තර යුද බිමේ අත්දැකීම් සහ විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ට අනෙකුත් ජාත්‍යන්තර හමුදා සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීම ඉන් එකක් වනවා. එමෙන්ම මෙම සාම සාධක කටයුතුවලට සහභාගී වන එක් නිලධාරියෙකුට මාසයකට ඇමරිකානු ඩොලර් 1332 ක වැටුපක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙවීමට නියමිත අතර, එය ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ දැමීමට හොඳ අවස්ථාවක් වනු ඇති බව මගේ විශ්වාසයයි.



    ඊට අමතරව විශේෂ කාර්ය බලකාය යටතේ රට පුරා ව්‍යාප්ත වී ඇති රැඳවුම් කඳවුරු, පුහුණූ මධ්‍යස්ථාන, නිලධාරී
    කාර්යාල,භට නිවාස ඇතුළුව යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම රුපියල් මිලියන 325 ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.

    ඒත් එක්කම මම කැමතියි නව තොරතුරු තාක්ෂණය සමග පොලිස් දෙපාර්තමේන්තුව තවදුරටත් සම්බන්ධ කරන්න, විශේෂයෙන්ම
    පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන ක්‍රියාවලිය සඳහා රු.මිලියන 500 ක්ද සහ ජාලගත සන්නිවේදන උපාය මාර්ග
    සම්බන්ධතාවය වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් වෙන්කර තිබෙනවා.



    ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව ජනතාව සමඟ පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
    විශේෂයෙන්ම පසුගිය අවුරුදු 10 ක කාලය ඇතුළත දේශපාලන බලපෑම් සහ ඇඟිලි ගැසීම් නිසා පොලිසිය පිළිබඳව ජනතාව අතර
    තිබූ විශ්වාසයේ යම් පළුදුවීම් ඇතිවුණා. නමුත් නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා කැප වූ ආණ්ඩුවක් ලෙස ඉදිරියේදී පොලිසිය
    රටේ ජනතාව අතර විශ්වාසනීයම ආයතනයක් බවට පත්කිරීමටයි අපි බලාපොරොත්තු වන්නේ.

     



    ගරු සභාපතිතුමනි, අන්තරායකර ඖෂධ භාවිතය වළැක්වීම හා පාලනය කිරීම, මත් ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රතිකාර ලබා
    දීම හා පුනරුත්ථාපන කටයුතු කිරීම තුළ මාගේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය
    විශාල වැඩ කොටසක් කරනු ලබනු බව ද ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි.




     මගේ අමාත්‍යාංශය යටතේ ඇති තවත් විශේෂ අංශයක් වන්නේ දක්ෂිණ සංවර්ධනයයි. විශේෂයෙන්ම 2016
    වසරේදී රටේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන විට දකුණු පළාතේ සංවර්ධනය තීරණාත්මක එකක් වනු ඇති බවට මම
    විශ්වාස කරනවා.



    දක්ෂිණ පළාත් සංවර්ධනය කිරීමේදී අපි ප්‍රධාන කාරණා 03 ක් කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. ඒ තමයි සංචාරක,
    ආයෝජන වගේම කෘෂි සහ ධීවර යන කර්මාන්ත.



    අද ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයිනගෙන් වැඩි දෙනෙක් පැමි‍ණෙන්නෙත් දකුණු පළාතටයි. හැබැයි ඔවුන්
    බොහෝමයක් සාම්ප්‍රදායික සංචාරකයින්. ඒ වගේම ඉහළ පන්තියේ සංචාරකයිනුත් නෙවෙයි. මේ නිසාම අපි සැලසුම් කරලා තියෙනවා,
    2016 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය ඉහළ නංවා ගන්නත්. විශේෂයෙන්ම ඉහළ පන්තියේ
    සංචාරකයින් ගෙන්වා ගැනීමටත්. ඒ වගේම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අඩුම තරමේ දින 07 ක්වත් දකුණු පළාතේ රඳවා
    ගැනීමටයි අපේ ඉලක්කය වී තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ආකර්ශනීය සංචාරක වැඩසටහන් සහ ස්ථාන දැනටමත් සැලසුම්
    කර අවසන්.



    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය ඉදිකිරීම පිළිබඳව අපිට විශාල ගැටලු පවතිනවා. අද එය ආදායමක්
    නොමැති හිස් ගොඩනැගිලි බවට පත්වෙලා තියෙන්නේ. කොහොම වුනත් දැන් එය ඉදිකර අවසන්. ඉන් ප්‍රයෝජන ගැනීම සිදුකළ යුතුයි.
    මේ නිසා අපි සැලසුම් කරලා තියෙනවා මෙරටට පැමිණෙන සංචාරකයින් පළමුවෙන්ම මත්තල ගුවන් තොටුපලෙන් ගොඩබැස
    දකුණු පළාතෙන් සිය සංචාරක ගමන ආරම්භ කළ හැකි පරිසරයක් නිර්මාණය කරන්න.

     ඒ වගේම සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා දැනටමත් දකුණු පළාත තුළ යටිතල පහසුකම්
    සංවර්ධනය කිරීම සහ මාර්ග දියුණු කිරීම වැනි දේ පිළිබඳව අපේ අමාත්‍යාංශය අවශ්‍ය සැලසුම් සිදුකර අවසන්.



    සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම දකුණු පළාත තුළ වැඩි වැඩියෙන් ආයෝජන ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
    හම්බන්තොට දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රික්කය තුළ මෙම ආයෝජන ක්‍රියාත්මක කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.
    විශේෂයෙන්ම කොග්ගල ආයෝජන කලාපය යළිත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ආයෝජන කලාපයක් බවට පත් කෙරෙනවා. එමෙන්ම එම ආයෝජන කලාපවලට අවශ්‍ය යටිතල පහසුකම්, නවීන තාක්ෂණික පහසුකම් ලබාදීමටත් අප අමාත්‍යාංශය මැදිහත්වීමට කටයුතු කරමින් සිටිනවා.

     දක්ෂිණ පළාතේ සංවර්ධනයේදී කෘෂි සහ ධීවර කර්මාන්තයේ සංවර්ධනය ඉතාමත් වැදගත් වෙනවා. ලොව පුරාම
    දැන් වැඩි ඉල්ලුමක් පවතින කාබනික ආහාර ද්‍රව්‍ය සඳහා අවශ්‍ය එළවළු සහ පළතුරු වගා කිරීමට සුදුසුම ප්‍රදේශයක් ලෙස අපිට
    දකුණු පළාත හඳුන්වන්න පුළුවන්. ඒ අනුව දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් එළවළු සහ පළතුරු වගාව දියුණු කිරීමට අපේ අමාත්‍යාංශය විශේෂ මැදිහත්වීමකින් යුතුව කටයුතු කරන්න සූදානම්. ඒ විතරක් නෙවෙයි ධීවර කර්මාන්තයත් මීට වඩා ක්‍රමවත්ව පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ධීවර අමාත්‍යාංශය සමඟ දැනටමත් සාකච්ඡා කරමිනුයි පවතින්නේ.



     මෙලෙස අපිට හොඳ කෘෂි සහ ධීවර අස්වැන්නක් ලබාගන්න හැකි වුනොත් එම අස්වැන්න අපිට විදේශීය
    වෙළඳපොල සඳහා අපනයනය කිරීමට හැකියාව තියෙනවා. ඒ සඳහා අපනයනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්
    තොටුපලත්, හම්බන්තොට වරායත් යොදාගත හැකියි.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජයේ
    ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාව 2020 වනවිට ඉහළ ආදායම් සහිත රටක් බවට පත්කරන්න. එම ඉලක්කය සපුරා ගැනීමට නම් රටේ නීතිය හා
    සාමය සුරක්ෂිත විය යුතුයි. එමෙන්ම, රටේ සංවර්ධනයත් සාර්ථකව සිදුකළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, මඟ පෙන්වීම සහ
    මෙහෙයවීම අප අමාත්‍යාංශයෙන් සිදුකරන බවට මේ ගරු සභාවට මම දැනුම් දෙන්න කැමතියැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya