මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරද මඩුළු සමුළුව ඇමතූ ජනපති යළි දිවයිනට

    දෙසැම්බර් 02, 2015

    මෝල්ටා රාජ්‍යයේ පැවති 24 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සහ පැරිස් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව වෙනුවෙන් සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සාර්ථක නිල සංචාරය අවසන් කර ඊයේ (01) දහවල් යළි දිවයිනට පැමිණියේය.

    24 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ,පොදුරාජ්‍ය මණ්ඩලය ගෝලීය වටිනාකමට නව ශක්තියක්, තේමාව යටතේ එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 27 වනදා පෙරවරුවේ ආරම්භ කෙරිණි.

     

    පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රමුඛ සාමාජික රටවල් 53 ක රාජ්‍ය නායකයන් ඊට එක්ව සිටියේය.

     

    පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ ජාතින් අතර සංහියාඳිව ගොඩනැඟීමට කැපවූ රාජ්‍ය නායකයෙකු ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට එහි සුවිශේෂි ස්ථානයක් හිමි විය.

     

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, අදහස් ප‍්‍රකාශ කිරිමේ අයිතිය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍ය සුරකීම යනාදිය පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ මූලධර්මයන් වේ.

     

    එම මූලධර්මයන් අකුරටම ඉටු කළ රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සමුළුවට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයින්ගේ ගෞරවයට පාත‍්‍ර වූ අතර සමුළුව අතරතුර පැය 12 ක් වැනි කෙටි කාලයක් තුළදී ලෝකයේ ප‍්‍රබලතම නායකයින් වන බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රමාත්‍ය මැල්කම් ටර්න්බුල්, කැනඩා අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ යන මහත්වරුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද ජනාධිපතිතුමාට අවස්ථාව ලැබුණි.

     

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ලෙස සිය ධුර කාලය තුළ පොදු රාජ්‍ය මණ්ඩලයේ පරමාදර්ශයන් ඉහළ නැංවීමට අගනා සේවාවක් ඉටු කළ බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා මහතා මෙහිදී පැවසූ අතර මහලේකම්වරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හඳුන්වාදෙනු ලැබුවේ අපූර්ව රාජ්‍ය නායකයා නමින් වීම ද විශේෂත්වයක් විය.

     

    27 වනදා පස්වරුවේ ජනාධිපතිතුමා සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදු කළ අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් එකිනෙකා හා බැඳී සිටින්නේ එකිනෙකා අතර හුවමාරු කර ගන්නා පොදු වටිනාකම් මඟින් මිස ඒ ඒ රටවල බලය හෝ සමෘද්ධිය මත නොවන බව එහිදී ලෝක නායකයින් ඉදිරියේ අවධාරණය කළේය.

     

    පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ ප‍්‍රජාව වෙනුවෙන් ජනාධිපතිතුමා ලබාදුන් සුවිශේෂී සහයෝගය සහ දායකත්වය උදෙසා පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනය විසින් එතුමා වෙත ඇගයීම් සම්මානයක් ද පිරිනැමුණු ලැබීය.

     

    සමුළුව අවසානයේ ජනාධිපතිතුමා විසින් පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය නිල වශයෙන් මෝල්ටා අග‍්‍රාමාත්‍ය ජෝශප් මස්කට් මැතිතුමා වෙත භාර දුන් අතර ඒ පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපතිවරයා ලෙස සිය වගකීම් සහ යුතුකම් මැනවින් ඉටු කළ එහි මූලධර්මයන් නිසි ලෙස ආරක්ෂා කළ පරමාදර්ශී රාජ්‍ය නායකයෙකු ලෙසයි.

     

    මෝල්ටා රාජ්‍යයේ සිය දෙදින නිල සංචාරය අවසන් කළ ජනාධිපතිතුමා පැරිස් නුවර පැවැතී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගීවීම සඳහා 29 දා පස්වරුවේ ප‍්‍රංශයේ චාල්ස් ඩිගෝල් ගුවන්තොටුපළ වෙත ළගා විය.

     

    එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට අයත් රාජ්‍ය නායකයින් 150 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 30 වැනිදා පස්වරුවේ සමුළුව ආරම්භ කෙරුණු අතර එරට වේලාවෙන් එදින ප.ව 3.00 ට පමණ ජනාධිපතිතුමා සමුළුව අමතනු ලැබීය.

     

    සමුළුව අමතමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේ මේ ලොවට පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසරවේදියාණන් බුදුන් වහන්සේ බව බෞද්ධයෙකු ලෙස තමා දැඩිව විශ්වාස කරන බවයි.

     

    දේශගුණික විපර්යාසවල බලපෑම් අඩුකිරීමට නීතිමය එකඟතාවයන්ගෙන් බැඳීමට ශී‍්‍ර ලංකාව සූදානම් බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළ අතර එය ලොව ප‍්‍රබල රටවල රාජ්‍ය නායකයින්ගේ ද විශේෂ අවධානයට යොමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya