මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දයා අල්විස් ප්‍රවීණ රංගධරයාගේ වියෝවට අග්‍රාමාත්‍යතුමා සොව පළ කරයි

    අප්‍රේල් 28, 2015

    දයා අල්විස් ප්‍රවීණ රංගධරයාගේ හදිසි වියොවින් වේදනාවට පත් පවුලේ සැමට, ඥාති හිත මිත්‍රාදීන්ට, රසික ප්‍රජාවට බලවත් ශෝකය ප්‍රකාශ කරමින් මේ සොඳුරු කලාකරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

    අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවුඩය,

     

    “වේදිකාව, පුංචි තිරය සහ සිනමාව තුළ තම ප්‍රතිභාපූර්ණ රංග කෞශල්‍යයෙන් සදාතන මතක සැමරුම් ඉතිරි කළ දයා අල්විස් ප්‍රවීණ රංගධරයා හදිසියේ අප අතරින් සමුගැනීම ශෝකයට කරුණකි. මේ අනපේක්ෂිත වියෝවෙන් සමස්ත කලා ලොවම, රසික සහෘද ප්‍රජාවම ශෝක වන බව මම දනිමි.

     

    රංගධරයකු ලෙසින් මිස සංගීතඥයකු, ගායකයකු ලෙසින් දයා අල්විස් මහතා හඳුනනුයේ සීමිත පිරිසකි. ඉන්දියාවේ භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් සංගීත උපාධිය ලැබූ ඔහු සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ සංගීත ගුරුවරයකු ලෙසිනි. දක්ෂ ගායකයකු වන ඒ මහතා නාට්‍ය කිහිපයකටම සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක වී ඇත.  

     

    මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ පේමතෝ ජායතී ශෝකෝ නාට්‍යයෙන් වේදිකාවට අවතීර්ණ වූ දයා අල්විස් මහතා මකරා, ධවල භීෂණ, මකරාක්ෂ, සෙනෙහබර ඩොලී, මෝදර මෝල වැනි නාට්‍ය සිය සජීවී රංගන ප්‍රතිභාවෙන් ඔප්නංවන්නට සමත් විය. 

     

    තිලක හා තිලකා, මඩොල්දූව, උතුමාණෙනි, මල්දෙණියේ සිමියොන්, දඩයම, විරාගය, සිරිබෝ අයියා, නිකිණි වැස්ස ඇතුළු චිත්‍රපට රැසකට අපූර්ව චරිත නිරූපණයෙන් ලබා දී ඇති දායකත්වය විශිෂ්ඨ ය. ප්‍රවීණ රංගධරයකු, තිර කතා රචකයකු, නිෂ්පාදකවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු ලෙස පුංචි තිරයට ද අගනා නිර්මාණ රැසක් දායාද කළ කලාකරුවෙකි. ඔහුගේ මුල්ම ටෙලි නාට්‍ය තිර රචනය වන ළා හිරු දහසක් ටෙලි නාට්‍යය සුවිසල් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තේය.


    කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් තුළ සිය අපූර්ව ප්‍රතිභාව සනිටුහන් කළ දයා අල්විස් වැනි ප්‍රවීණ කලාකරුවන් අහිමි වීම සැබවින්ම පිරිමැසිය නොහැකි පාඩුවකි.

     

    දයා අල්විස් මහතාගේ හදිසි වියොවින් වේදනාවට පත් පවුලේ සැමට, ඥාති හිත මිත්‍රාදීන්ට, රසික ප්‍රජාවට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමින් මේ සොඳුරු කලාකරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.“

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya