මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී තරුණ තරුණියන්ට නව රැකියා දස ලක්‍ෂයක් දීමට කටයුතු කරනවා

    අප්‍රේල් 28, 2015

    ඉදිරි අවුරුදු 5 ඇතුළත දී ජනතාවගේ ආදායම දෙගුණයක් කිරීමට කටයුතු කරන අතර ඒ සියල්ලටම වඩා ඉහළ වැටුප් ලැබිය හැකි නවීන පන්නයේ නව රැකියා දස ලක්‍ෂයක් තරුණ තරුණියන් වෙනුවෙන් මේ රටේ ඇති කිරීමට තමන් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    හම්බන්තොට දිස්ත්‍රික්කයට මහා පරිමාණ කර්මාන්ත ශාලා සියයකට අධික ප්‍රමාණයක් ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බවත් දකුණ, බස්නාහිර, නැගෙනහිර, මධ්‍යම සහ උතුර යන පළාත්වල මහා පරිමාණ කර්මාන්ත කලාප ඇති කිරීමට සැලසුම් කරන බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

     

    පසුගියදා (26) මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය මැතිවරණ කොට්ඨාසයේ පිටබැද්දර ඩඩ්ලි සේනානායක විදුහල් ක්‍රීඩාංගනයේ පැවැති සිංහල සහ හින්දු ජාතික අලුත් අවුරුදු උත්සවයට සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ජාතික තරුණ සේවා සභාව විසින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.

     

    පුරා අවුරුදු 10 ක් මුළුල්ලේ යෞවන කටයුතු ‍ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන අතර මේ කාලයේ දී යෞවන යෞවනියන් නගා සිටුවීම වෙනුවට කළේ පුද්ගල චරිත ගොඩනැගීම බවත් ඒ මහතා පැවසීය.

     

    පරිගණක ක්ෂේත්‍රය සහ සංචාරක ව්‍යාපාරය දියුණු කරමින් ඒ ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන්ට හොඳ පුහුණුවක් ද ලබා දීමට මෙම රජය කටයුතු කරන බවත් බංග්ලාදේශයේ සහ මියන්මාරය ආදී රටවල තිබෙන ආකාරයේ අඩු ආදායම් තිබෙන සහ අඩු වැටුප් ගෙවන කර්මාන්ත මේ රටේ ආරම්භ නොකරන බවත් ඔහු පවසා සිටියේය.

     

    තවදුරටත් සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා,

     

    කර්මාන්ත ඇති කරන අතර තේ කර්මාන්තය නවීකරණය කරමින් තේ නිෂ්පාදනය වැඩි කර නිෂ්පාදන ගාස්තුව අඩු කිරීමට ද, ඉහළ මිලක් අපේ තේ සඳහා පවත්වා ගැනීමට ද අප කටයුතු කළ යුතුයි. තේ කර්මාන්තය පමණක් නොව, රබර් කර්මාන්තය ද නවීකරණය කිරීමට කටයුතු කරන අප වී වගාව දියුණු කරන අතර අලුත් වාණිජ භෝග වගා කිරීමට ද සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබෙන මල් වර්ග වගා කිරීම කෙරෙහි ද අපේ අවධානය යොමු වී තිබෙන බව කිව යුතුයි. මේ වගා කටයුතු සඳහා ගොවි ජනයාට ණය සහ තාක්‍ෂණ දැනුම ද ලබා දී අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අප කටයුතු කරනවා.

     

    මේ අලුත් ශ්‍රී ලංකාවට යන්න කැමති ද, නැද්ද යන්න පිළිබඳව තරුණ තරුණියන් වන ඔබ තීරණය කළ යුතුව තිබෙනවා. අප පෙන්වා දී තිබෙන මාර්ගයේ ඔබ ඉදිරියට යන්නේ නම් ඔබේ ආදායම දෙගුණ, තෙගුණ වනවා නියතයි.

     

    ඉදිරි මහ මැතිවරණයෙන් පසුව අලුත් පාර්ලිමේන්තුවක් ගොඩනගා ගෙන මේ වැඩ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මමත් තීරණය කර තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ එකට ඒකරාශී කර ගෙන රටේ පාලනය ගෙන යමින් මේ වැඩ කටයුතු කිරීමටයි. ඒ ඒ දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සඳහා කැබිනට් ඇමැති ධුර පාර්ලිමේන්තුවේ අනෙකුත් විවිධ තනතුරු හෝ නියෝජ්‍ය කතානායක ධුරය වැනි තනතුරු අපට ලබාදිය හැකියි.

     

    අප සියලු දෙනාම මෙසේ එකට එක්ව අවම වශයෙන් අවුරුදු දෙකක් හෝ තුනක් රටේ පාලනය ගෙන යන්නේ නම් විදේශ ආයෝජන, දැනුම සහ තාක්‍ෂණය රටට ගලාගෙන එනවා. මට අවශ්‍ය වන්නේ එකට එකතු වී වැඩ කරමින් රට ගොඩනගන කණ්ඩාමක් විනා, අපේ මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන මිනිසුන් නොවෙයි. අප උත්සාහ කළ යුත්තේ සියලු පාර්ශ්වයන් එකට ඒකරාශී කර ගෙන මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත් කිරීමටයි.

     

    මේ අනුව ක්‍රියා කරමින් නව රැකියා දස ලක්‍ෂයක් ඇති කර ජතාවගේ ආදායම දෙගුණ කිරීමට අපට හැකි නම් ජීවත් වීම සඳහා බලවත් සහ හොඳ රටක් නිර්මාණය වනවා. බලවත් සහ හොඳ රටක් යනු මගේ අනාගතය නොව, තරුණ තරුණියන් වන ඔබේ අනාගතයයි. යුද්ධයට මුහුණ දී දුක් වින්ද සහ දිවි පරදුවට තබා යුද්ධයට මුහුණදුන් තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් උදා කිරීමේ යුතුකම සහ වගකීම අප වෙත පැවරී තිබෙනවා. ඒ අනුව අප මේ සූදානම් වන්නේ ඊළඟ මහ මැතිවරණයෙන් පසුව තරුණ පරපුරේ ඒ අනාගතය ගොඩනැගීම සඳහායි.“ යැයි ද ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya