මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන අගමැති කරුණු පහදයි

    මාර්තු 17, 2015

    මහ බැංකු විසින් නිකුත් කළ බැඳුම්කර සිද්ධිය සම්බන්ධ පත් කළ කමිටුවේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් රජයට එරෙහි ව චෝදනාවක් නැගුනු අවස්ථාවක ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමත් ඒ ගැන සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් පත් කිරීමත්, එතැනින් නොනැවතී පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කිරීමත් මෑත ඉතිහාසයේ සිදු වන්නේ පළමු වතාවට බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර නියෝග 23(2) අසන ලද ප්‍රශ්නයකට විශේෂ ප්‍රකාශයක් කරමින් අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන් විසින් මහ බැංකුව සිදු කරන ලද බැඳුම්කර නිකුතුව ආශ්‍රිත ව උද්ගත වී ඇති ගැටලුව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විමසමින් මේ ප්‍රශ්නය ඉදිරිපත් කළේ ය.

    මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, රජයට එරෙහි ව චෝදනාවක් නැගුනු අවස්ථාවක ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමත් ඒ ගැන සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් පත් කිරීමත් එතැනින් නොනැවතී පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කිරීමත් මෑත ඉතිහාසයේ සිදු වන්නේ පළමු වතාවටයි. ඇත්තෙන් ම සිදු කළ යුත්තේ යහ පාලන ක්‍රියාදාමයන් ප්‍රශංසාවට ලක් කිරීමයි. අද කතා නැතුව සිටි අය වීරයන් මෙන් රජයට පහර ගන්නට කටයුතු කරනවා.

    අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුයි. පසුගිය කාලයේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළේ නැහැ. බැඳුම්කර නිකුතුව පිළිබඳ කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් මෙතෙක් සිදු නොකළේ පවත්නා ගැටලුව සම්බන්ධයෙන් අඳ, ගොළු, බිහිරි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නොවේ. මාගේ නිහඬ බව වරදවා වටහා ගන්න එපා. මට අවශ්‍ය වුණේ පළමු ව ගරු සභාව දැනුවත් කිරීමටයි.

    බැඳුම්කර නිකුත් කිරීම සොයාබැලීම සඳහා ත්‍රීපුද්ගල කමිටුවක් පෙබරවාරි 27 මා පත් කළා. මේ සෑම පුද්ගලයෙක් ම වසර ගණනක් පලපුරුද්දක් සහිත පුද්ගලයන්. මේ වන විටත් එම කමිටුව රැස්වී පරීක්ෂණ කටයුතු ආරම්භ කර තියෙනවා. ඔවුන්ට එල්ල කරන පදනම් විරහිත ප්‍රකාශවල අරමුණ රජය අපහසුතාවට පත් කිරීමයි. සිදු කර ගෙන යන පරීක්ෂණ මේ බැඳුම්කර නිකුතුවට පමණක් සීමා වන්නෙක් නැහැ. මීට කලින් මේ ක්‍රියාදාමයන් සිදු වුණේ අයහපත් ක්‍රමවේදයන් ඔස්සේ නිසා බොහෝ විශ්මය දනවන කරුණු මේ පරීක්ෂණයේදී හෙළිදරව් වෙතැයි මා විශ්වාස කරනවා.

    පසුගිය සඳුදා සිට අර්ජුන මහේන්ද්‍රන් මහතා නිවාඩු ලබා ගෙන තිබෙන අතර පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් තම රාජකාරීවලින් වැලකී සිටින බව මා වෙත දන්වා සිටිනවා. මීට පෙර මේ තනතුර දැරූ පුද්ගලයන් කටයුතු කර ඇති ආකාරය මීට හාත්පසින් ම වෙනස්. ව්‍යාපාරික ප්‍රජාවට යහපත් වන නිදහස් සාධාරණ වාතාවරණයක් අප විසින් නිර්මාණය කර තිබෙනවා. පසුගිය කාලයේ ඔවුන්ට සමහර ක්ෂේත්‍ර ගැන කතා කිරීම තබා ඒ ක්ෂේත්‍ර දිහා බලන්නත් තහංචි දමා තිබුණා. රටේ සංවර්ධනය වෙනුවෙන් සැබැවින් ම වියදම් කළ මුදල් ප්‍රමාණය වගේ ම දූෂිතයන්ගේ සාක්කු තරවූ ආකාරයත් ළගදීම අනාවරණය වූ බව ප්‍රකාශ කරනවා. රටේ ජනතාවගේ මුදල් නිකරුනේ නාස්ති කළ ආකාරය රටේ ජනතාවට දැනගන්නට ලැබෙයි. පෞද්ගලික අංශයේ බැංකු ක්ෂේත්‍ර යේ සහ කොටස් වෙළෙඳපොළේ තිබෙන අක්‍රමිකතා ඉවත් කිරීමට මම කැපවී සිටිනවා. මේ මහජනයාගේ යුගයයි. මා ඇහුම්කන් දෙන්නේ මහජනතාවටයි. තැන් තැන්වල හැංගි හැංගි මඩ ගහන්නේ නැතුව මැතිවරණයකට පැමිණ අප සමග මුහුණට මුහුණ සටන කර ගෙන යන ලෙස මම ඔවුන්ට අභියෝග කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    NDH/PR

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya