ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමාගම කිරිවත්තුඩුවේ ඉදිවෙන“ගුරුදෙව් සුව අරණ ගිලන් මධ්‍යස්ථානය”

    මැයි 20, 2024

    “යමෙක් රෝගීන්ට උපස්ථාන කරයිද ඔහු මට උපස්ථාන කළා හා සමාන ආනිසංස ලබන්නේය.” යන උතුම් බුද්ධ වචනය සාක්ෂාත් කරමින් හෝමාගම කිරිවත්තුඩුවේ ඉදිවුණ විශාලතම භික්ෂු රෝහල “ගුරුදෙව් සුව අරණ” ට ගියෙමි.

    හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ මෑත කාලීනව සිදුවූ අගනා සංවර්ධන ප්‍රවේශයකට ලක්වීම එම ප්‍රදේශවාසීන්ට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ආර්ථික, සාමාජීය, අධ්‍යාපනික හා සංස්කෘතික වශයෙන්  ලක්දිවට ඇත්තේ මහත් අභිමානයකි.

    කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේ වැඩ වාසය කළ අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නායක ස්වාමීන් වහන්සේ  ජීවත්ව සිටියදී තම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පිටිගල සෝනුත්තර හිමියන් දැනුවත් කළේ,  ශ්‍රී ලංකාව තුළ හා විදෙස් හි සිට මෙරටට පැමිණ වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා ගිලන් වීමේදී නේවාසිකව වැඩසිටිමින් භික්ෂූ විවේකාශ්‍රමයක් ඉදිකිරීම යුතු බවයි. භික්ෂු අරණ ගොඩනැගීමේ කර්තව්‍යට උන් වහන්සේට දායකවන්නට නොහැකි වූවද එම බෝධිසත්ව අදහස නියාමාකාරයෙන් ඉටුකරවීමට ගත් අප්‍රතිහත උත්සාහය සඵලකිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොහුවල ධාතුමළු විහාරයේ විහාරාධිපතිව වැඩවාසය කරන පූජ්‍ය පිටිගල සෝනුත්තර හිමියන් විසින් තම ගුරු ස්වාමීන් වහන්සේ දෙවිකෙනෙකු ලෙස පිදීමට සුදුසු සේ සලකා “ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය” ඉදිකරන්නට පියවර ගෙන ඇත.

                              පූජ්‍ය පිටිගල සෝනුත්තර හිමියන්

    කොහුවල ධාතුමළු විහාරයේ දී 1976 වසරේදී පැවිදි වූ  පිටිගල සෝනුත්තර හිමියෝ කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙනින් උසස් පෙළ අවසන් කිරීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජවිද්‍යා ගෞරව විශේෂ උපාධියත් සහිතව පේරාදෙණිය සඟබෝධි පිරිවෙනෙහි අචාර්ය වරයෙක් ලෙස තම වෘත්තීය ජීවිතය ඇරඹන ලදි.  ඉන් අනතරුව පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙහිත්, අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සමාජවිද්‍යා අංශයේ ගුරු උපදේශකවරයෙක් ලෙසත් කටයුතුකර 2005 වසරේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූහ.

    මනා භික්ෂු රෝහලක් නිමකිරීමට සුදුසු මනරම් භූමියෙන් කොටසක් පූජාවක් ලෙස තිලිණ කිරීමට කොට්ටාව සිරි වජිරඥාණ සෙනසුනේ අනුශාසක බෝධිසත්ව ගුණෝපේත පූජ්‍යපාද කඩවත සමින්ද ස්වාමීන් වහන්සේ විසින් පියවරගෙන ඇති අතර, අනෙක් භූමි කොටස පූජාකිරීම සිදුකර ඇත්තේ අතපත්තුගේ මැගිලින්නෝනා උපාසිකා මාතාව සහ දියණිය වන යකුපිටියගේ සන්ධ්‍යා කාන්තිලතා මහත්මිය හා එම මහත්මියගේ ස්වාමිපුරුෂයා වන සිසිර කුමාර කරුණාරත්න මහතා විසිනි.

    “ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය” පරිපූර්ණ රෝහලක් ලෙස නිමකිරීමට විශාල අනුග්‍රහ දායකත්වයක් අවශ්‍යව ඇති මොහොතක දායකකාරකාදීන්ට අමරතව විශේෂයෙන් මෙම රෝහල් උපකරණ සහ රෝහල ඉදිකිරීමට නොමඳ සහය ලබාදීමට දකුණු කොරියවේ තේගු නුවර ශ්‍රී ලංකාරාමාධිපති දකුණු කොරියාවේ සංඝනායක පූජ්‍යපාද කටුවන විජිතවංශ හිමියන් ගේ අනුග්‍රහයත් දකුණු කොරියාවේ බෞද්ධ රෝහලේ (Jungtahmar Jajae Buddhist Hospital) ප්‍රධානී Neunghaeng භික්ෂුණියගේ සහ තායිවානයේ කෞෂෝන් Long Fong ආරාමයේ සින්දාවෝ (Sin Daw) භික්ෂුණියගේ සක්‍රීය දායකත්වයක් ලබාදීම මහත් සේ අගයකළ යුතුය.

    2016 වසරේ දී හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් මහාවිහාරාධිපති ශාසනශෝභන ත්‍රිපිටකවාගිශ්වරාචාර්ය, සිරිසීලවංසාලංකාර, පරියත්ති විශාරද, ත්‍රිපිටක ධර්මචක්‍රවර්තී, ශාසන කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත විනයාචාර්ය, විනය විශාරද, අග්ගමහාපණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරන්දර, අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම භික්ෂු අරණට මුල්ගල තැබූයේ දායක වූ සියල්ලන්ගේ කැපවීමේ අනර්ඝ ප්‍රතිඵලයක් ලෙසයි.

     

    යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් විශ්ව ශක්තිය ගලා ඒමට මං සළකුණු සැකසූ ඉතා මනරම් කැණිමඬලක් සහිතව සුන්දර පරිසරයකට මුහුණලා ඉදිවුණ මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයෙහි එකවර භික්ෂූන් වහන්සේලා පනහකට (50) නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව පවතී. පූජ්‍ය පිටිගල සෝනුත්තර හිමියන් විසින් රෝහලකට අවශ්‍ය සියලු පහසුකම් මෙම භික්ෂු රෝහලෙහි අන්තර්ගත කරවීමට ගත් උත්සාහය එහි නේවාසිකව වැඩ වෙසෙමින් ප්‍රතිකාර ගන්නා භික්ෂු හිමිවරුන්ට මහත් පහසුවක් වේ.  එසේම භික්ෂූන් වහන්සේලාගේ ඥාතීන්ට සහ එම ගම්වාසීන්ටද ප්‍රතිකාර ගැනීමට කටයුතු සැලසුම් කරමින් පවතීම ගම්වාසී සියල්ලන්ට ද අස්වැසිල්ලක් වනුඇත.

    පිටිගල සෝනුත්තර නා හිමියන් ගේ සහ දායක සභාව විසින් මෙම රෝහලෙහි නිසි අධීක්ෂණය සිදුකෙරෙන අතරම පරිපාලනය භික්ෂු රෝහල් කමිටුවක් විසින් සිදුකෙරේ. සුදුසුකම්ලත් වෛද්‍යවරුන් යටතේ රෝගී භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නිදහස මෙන්ම භික්ෂූන් වහන්සේලා පන්සියයකට (500) භාවනායෝගීව වැඩ හිඳීමට සුදුසු වපසරිය නොඅඩුව මෙම අරණෙහි සකසා තිබීම සුව්ශේෂී කරුණක් ලෙස සඳහන්කළ යුතුයි.

    පස්මහල් මහල් ගොඩනැගිල්ලකින් සහ තුන්මහල් ගොඩනැග්ලකින් යුතු මෙම රෝහලෙහි කාමර 20ක් ඇතුළත්ව සාමාන්‍ය වාට්ටු අංගනයකින් ද සමන්විත වේ. දාන ශාලාවක්, වෛද්‍ය නිල නිවාස, හෙද නිල නිවාස අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සඳහා නිල නිවාස මෙන්ම විදුලි සෝපාන පහසුකම් සහ දෛනික අවශ්‍යතා සඳහා බෙහෙත් හා ඖෂධ ශාලාවක් ද ස්ථාපිතව පවතී.

     

    Screenshot 2024 05 20 091143

    ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ශරීරය, මනස සහ ආත්මය තුළ සමතුලිතතාවය පවත්වා ගැනීමට අවධානය යොමු කරමින් සාම්ප්‍රදායික පරිපූර්ණ සුව කිරීමේ පද්ධතියක් සහිත දේශීය ආයුර්වේද වෙදකමත්, ඖෂධ, ශල්‍යකර්ම සහ උසස් වෛද්‍ය තාක්ෂණයන් භාවිතයෙන් විශේෂිත රෝග නිර්ණය කිරීම, විකිරණ ප්‍රතිකාර සහ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා උසස් වෛද්‍ය තාක්ෂණයන් මත රඳා පවතින ප්‍රතිකාර කිරීම් කෙරෙහි අවධානය යොමු කිරීමට බටහිර වෛද්‍යක්‍රමයත් එකම රෝහලකින් ලබාගැනීමට අන්තර්ගත කර තිබීම තවත් සුවිශේෂත්වයකි.

    නාමලී මාකලන්දාව                                                                                                          

    ඡායාරූප - තුසිත චන්ද්‍රකුමාර

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya