ඔක්තෝබර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වප් පොහොය දිනය අදයි

    ඔක්තෝබර් 17, 2024

    අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත් වේ.

    බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම, පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් අතර ප්‍රමුඛ වේ.

    බුදුරජාණන් වහන්සේ සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල සෛලාසනයෙහි වස් සමාදන්ව මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙව් පිරිසට අභිධර්මය දේශනා කර මාතෘ දිව්‍යරාජයා ඇතුළු අසූකෝටියක් මාර්ග ඵලයන්ට පත්කර අනතුරුව වප් පොහෝදින වස් පවාරණය කර තව්තිසා දෙව් ලොවින් ශක්‍ර බ්‍රහ්මාදී දෙවිවරුන්ගේ ගරු බුහුමන් මධ‍්‍යයේ රන් ඉනිමඟින් දඹදිව සංකස්ස නගර ද්වාරයට වැඩම කළේත් වප් පොහෝ දිනයේය.

    එම අසිරිමත් බුදු පෙළහර දුටු සැරියුත් මහරහතන් වහන්සේ සර්වඥයන් වහන්සේට වන්දනා කර මෙසේ ප්‍රකාශ කළහ. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස මෙවන් අසිරිමත් බුද්ධ ශ්‍රීයක් තමන් වහන්සේ මෙයට පෙර නොදුටු බවත්, ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් අරඹයා දහම් දේශනා කළ විට දෙවියන් ඇතුළු විශාල පිරිසකට ධර්මාවබෝධය ලැබීය. සැරියුත් තෙරුන් වහන්සේගේ සද්ධි විහාරික භික්ෂූන් පන්සීයක් පමණ රහත් බවට පත් වූහ. සැරියුත් තෙරුන් හා ඇතිවූ ධර්ම සාකච්ඡාව ඇසූ බොහෝදෙනා එහිදී බුදුබව ප්‍රාර්ථනා කළහ. මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ‍ද මෙහිදී පැවිදි බව ලබාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගත්තේ ද මෙම උතුම් වප් පොහෝ දිනක වේ.

    “වස්සානේ වස්සං උපගන්තුං” යන බුද්ධ නියමයට අනුව උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පුන් පොහෝ දින පොහොය කර අව පැළවිය දවසේ පෙරවස් සමාදන් වූ භික්ෂු වස් තෙමස අවසන්ව මහා පවාරණය සිදු කරන්නේ මෙම වප් පොහෝ දිනයේ දී ය.

    වප් පොහෝ දිනට පසු දින සිට ඊළඟට එළඹෙන ඉල් පොහෝ දින දක්වා කාලය චීවර මාසය ලෙස නම්කර ඇත. මෙම මාසය චීවර මාසය ලෙස නම් කරනු ලබන්නේ වසරකට වරක් සිදුකරන කඨින චීවරයන් පූජා කිරීමට අවස්ථාව උදාවන්නේ මෙම මාසය තුළ බැවිනි. මෙවැනි උදාර පිංකම් මෙම වප් පොහෝ දිනයේ ආරම්භ කිරීම මෙම පොහෝ දිනයේ වැදගත්කම මැනවින් ප්‍රකට වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya