ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්‍ෂාව රටේ ඉහලම ප්‍රමුඛතාවයයි -  ආරක්‍ෂක ලේකම් 

    ඔක්තෝබර් 16, 2024

    ජාතික ආරක්‍ෂාව පිළිබඳ සැලකීමේදී ලාංකීය ජනතාවගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම අපගේ ආරක්‍ෂක යාන්ත්‍රණයේ ප්‍රමුඛතම කාර්යභාරය බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කළේය.

    ඊයේ(16) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය අමතමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මෙසේ ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මෙසේ පැවසීය.

    යුධ ගැටුම් නිසාවෙන් ඇති වන අහිතකර බලපෑම සහ එහි අමිහිරි මතකයන් අප සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක් තුල ඇති සුවකිරීමේ බලය ද අත්දැක ඇත්තෙමු. ඔබ ඔබේ ඉදිරි ගමනේ මීළඟ අදියරට පා තබන විට, ජාතියක් ලෙස අප අපගේ අතීතයෙන් ඉගෙන ගන්නා පාඩම් ද ඔබ සමඟ ඉදිරි දිවියට අත්දැකීමක් කර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. එපමණක් නොව සාමයේ, ස්ථාවරත්වයේ සහ සහයෝගීතාවයේ වටිනාකම පිළිබඳව ද අප කිසිදා අමතක නොකරමු”.

    උපාධි ප්‍රදානෝත්සවයේ අවසන් සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගි විය. එහිදී ජාතික ආරක්‍ෂක විද්‍යාලය, ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යා පීඨය, යුද හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලය, නාවික සහ සාගරික විද්‍යා පීඨය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය යන අධ්‍යයන ආයතන වලින් මුලික උපාධි, පශ්චාත් උපාධි, මෙන්ම ආචාර්ය උපාධි පාඨමාලා සම්පුර්ණ කල ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ශිෂ්‍යභට නිලධාරීන්, දිවා විද්‍යාර්ථයින් ඇතුළු උපාධි අපේක්‍ෂකයින් 1,728 ක් මෙහිදී උපාධි ලබා ගත්හ.

    කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබන ආරක්‍ෂක ලේකම්වරයා මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා පැමිණි අවස්ථාවේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) සහ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 1981 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලදි. අනතුරුව එය අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට තත්ත්වයෙන් උසස් කරන ලද අතර 2009 වසරේ දී සිවිල් උපාධි අපේක්‍ෂකයින්  හටද මෙහි අධ්‍යයන කටයුතු සිදුකිරීමට අවස්ථාව සලසා දෙන ලදි. පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ සාමාජිකත්වය දරණ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, අද වන විට විදෙස් රටවල සිසුන් ද ඇතුළුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයකට මුලික, පශ්චාත් හා ආචාර්ය උපාධි මෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවන් විශාල ප්‍රමාණයක් හැදෑරීම සඳහා අවශ්‍ය පහසුකම් සහිත අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් වී ඇත.

    මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, අනෙකුත් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, හමුදා සහ පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ උපාධි අපේක්‍ෂයින්ගේ පවුල්වල සාමාජිකයින් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya