නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තම වෘත්තීය අභිමානයෙන් හා අපක්ෂපාතීව ඉටුකිරීමට හැකි පසුබිම ගොඩනැගීමට කැපවෙනවා

    පෙබරවාරි 23, 2015

    තොරතුරු දැන ගැනීමේ පිපාසෙන් සිටින ජනතාවට ප‍්‍රාදේශීය වශයෙන් සිදුවන ප‍්‍රවෘත්තිමය සිදුවීම් කඩිනම්ව හා නිවැරදිව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ලබා දෙන දිවයින පුරා විසිර සිටින ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තම උතුම් වෘත්තීය අභිමානයෙන් හා අපක්ෂපාතීව ඉටුකිරීමට හැකි පසුබිම ගොඩනැගීමට තමා කැපවී කටයුතු කරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පෙරවරුවේ අමාත්‍යාංශ කාර්යාලයේදී දිස්ත‍්‍රික්ක 25ක ප‍්‍රාදේශීය මාධ්‍යවේදී නියෝජිතවරුන් හා රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදීය.

    ප‍්‍රාදේශීය වශයෙන් තම සේවා කටයුතු ඉටුකරන මාධ්‍යවේදීන්ට වෘත්තියේ නිරතවීමේදී මුහුණදෙන ගැටලු හා ප‍්‍රශ්න පිළිබඳවත් ඒවා නිරාකරණය කර ගැනීම සඳහා අදාළ බලධාරීන්ගේ මැදිහත්වීම මත ක‍්‍රියාකාරී වැඩසටහනක් සකස් කිරීම අරමුණු කොටගෙන පැවැත්වූ මෙම සාකච්ඡාව වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරිණි.

    මෙහිදී දින 101ක් තුළ ඉටුකිරීම සඳහා යෝජිත කරුණු 24කින් සමන්විත යෝජනා මාලාව ඇමතිතුමා හා රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිච්ලාන් මහතා විසින් ලබා දෙන ලදී.

    එම පොදු ඉල්ලීම් අතර මාධ්‍යවේදීන්ගේ ගැටලු පිළිබඳව එකඟතාවක් සකස් කර ගැනීම සඳහා දින 101ක් තුළ ඉටු කළහැකි ක‍්‍රියාකාරී වැඩසටහනකට විද්වත් කමිටුවක් පත් කිරීම, මාධ්‍ය වෘත්තිය පිළිගත් වෘත්තීයක් ලෙස ශ්‍රේණිගත කිරීම, පිළිගත් පත්වීමේ ලිපියක් ලබා දීමට ඇති හැකියාව හා ඊට අදාළ සුදුසුකම් පිළිබඳ අවධානය යොමු කිරීම, ත්‍රෛභාෂා පුහුණුව ලබාදීම, විද්‍යුත් මාධ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා තීරුබදු සහන ලබා දීම, දෛනික ගැටලු නිරාකරණය සඳහා ඔම්බුස්මන්වරයෙකු සේ ක‍්‍රියාකළ හැකි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු පත් කිරීම, මාධ්‍යවේදීන් සඳහා ඵලදායී ලෙස ගවේෂණාත්මක වාර්තාකරණ සම්මන්ත‍්‍රණ පැවැත්වීම, වෘත්තීය ගරුත්වය උදෙසා සාමවිනිසුරු පදවි ලබා ගැනීම, ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය හුවමාරු වැඩසටහන් මෙන්ම නව තාක්ෂණ දැනුම ලබාදීමේ ක‍්‍රමෝපායන් ඇති කිරීම, මාධ්‍යවේදීන්ගේ ආර්ථික ගැටලු හා සුබසාධන සේවා සඳහා සමුපකාර ක‍්‍රමයක් ආරම්භ කිරීම, නිවාස ණය යෝජනා ක‍්‍රමයක් හා ප‍්‍රවෘත්ති සඳහා දැනට කරන ගෙවීම ඉහළ දැමීම ආදී යෝජනා එහි අන්තර්ගත විය.

    මේ සාකච්ඡාවේ අදහස් දැක් වූ අමාත්‍යවරයා ජනතාවට සවන්දෙන හා ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දෙන වර්තමාන රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව ජනමාධ්‍යවේදීන් කළ මෙම ඉල්ලීම් දින 101ක් තුළ ඉටුකිරීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා තමාගේ උපදේශකත්වයෙන් හා අමාත්‍යංශ ලේකම්වරයාගේ අධීක්ෂණයට යටත්ව සහකාර ලේකම්වරයෙකු අද සිට ම පත් කරන බව ප‍්‍රකාශ කළේය.

    උතුරු පළාත නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීන් හමුවේ ඔවුන් කළ ඉල්ලීමට ප‍්‍රතිචාර වශයෙන් තමා නුදුරු දිනයක යාපනයේ සංචාරයේ නිරතවීමටත් එහිදී මාධ්‍යවේදීන් හමු වී ඔවුන්ට විශේෂිත වූ ගැටලු නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් නොයෙක් බාධක මධ්‍යයේ තම වෘත්තීය ඉටුකරන මාධ්‍යවේදීන්ට බලපෑමකින් තොරව තම පෑන මෙහෙයවීමට හැකි වාතාවරණය දැනටමත් ලබා දී ඇති අතර අපක්ෂපාතී ජනමාධ්‍ය සංස්කෘතියක් උදාකරලීමට මාධ්‍යවේදීන්ට ඊට පෙරමුණ ගෙන ක‍්‍රියා කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවේගම, ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සභාපති මහාචාර්ය ගංගානාත් දිසානායක, සී/ස එක්සත් ප‍්‍රවෘත්තිපත‍්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි යන මහත්වරු ප‍්‍රමුඛ උසස් නිලධාරීහු රැසක් සහභාගී වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya