මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ ඖෂධ ප්‍රතිපත්තිය යටතේ ගුණාත්මක බෙහෙත් තරගකාරී මිලට ලබාගැනීමේ වරම් Featured

    පෙබරවාරි 08, 2015
    ශ්‍රී ලාංකීය ජනතාවට  සහන රැසක් ලබාදෙන ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒමට රජය කටයුතු කර තිබේ. මෙමගින් ඖෂධ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක්  සිදු වන බව රජය කියයි. 
     
    මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් යෝජනා කළ මුල් ඖෂධ ප්‍රතිපත්තිය මත පදනම් වෙමින් ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් කිරීමට පියවර ගත්තේ ය.
     
    ඉදිරියේ දී ඖෂධ ප්‍රතිපත්තිය අතුළත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව   සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
     ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් අධික මිල ගණනින් ඖෂධ අලෙවි කිරීමට නොහැකි වන  ඖෂධ ආනයනය  කිරීමේ දී බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමේ දී වෙළඳ නාමයෙන් තොරව ඖෂධ නාමයෙන්පමණක් ඖෂධ හදුන්වා දීම අනිවාර්ය කෙරේ.
     
    මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම මගින් ඖෂධ වෙලඳ පොළහි සිදුවෙන  ඖෂධ මාෆියාව පාලනය කිරීමට හැකියාව ලැබේ. එය සෘජුවම ජනතාවගේ දෛනික ජීවිතයට සහනයක් අත්වනු ඇත. මේ මගින් ඇතිවන අනෙක් ප්‍රධාන වාසිය වන්නේ රටේ ආදයම අතිවිශාල ලෙස බහුජාතික සමාගම්වලට ඇදී ඇදී යාම වැළැක්වීමයි. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට වෛද්‍ය සංගම් සියල්ලම කැමැත්ත පළකොට තිබේ.
     
    ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මගින් ඉදිරියේ දී ඖෂධ ආනයනය කිරීමේ දී ඖෂධ නාමයට ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කරයි.මේ වනවිට   මෙරටට ගෙන්වා ඇති ඖෂධ තොග අවසන් කරගැනීම සඳහා ඖෂධ සමාගම් වෙත සහන කාලයක් ලබාදීමට රජය බලාපොරොත්තු වෙයි.
     
    වෙළෙඳ ආර්ථිකයන් පවතින ඇමෙරිකාවේ මෙන් ම එංගලන්තය වැනි රටවල බෙහෙත් හදුන්වනු ලබන්නේ ඖෂධ නාමයෙනි.එම රටවල වෙළඳ නමින් බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම තහනම් ය.
     
    විවිධ වෙළඳ නාමයන් භාවිතකරමින් එකම ගුණයෙන් යුතු එකම ඖෂධය ජනතාව වෙත ලබෙන බවත් ඉදිරියේ දී ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ පමණක් තෝරාගෙන ඒවා පමණක් ජනතාව වෙත ලබාදීමට නව පනතින් ඉඩ ලැබේ.
     
    සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට ප්‍රායෝගික මුහුණුවරක් ලබදෙමින් කාලින වශයෙන් ගැලපෙන ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කළ බව අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසී ය.
     
    වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවකට  සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී  වර්ෂ 2011 දී  පාර්ලිමේන්තුව තුළ මහාචාර්ය සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය  සම්මත කර ගැනීමට උත්සහ කළේ ය. 
     
    කෙසේ වෙතත්, එම කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අස්ථාන ගත වූ බවට වාර්තා විය. ඉන් අනතුරුව, එම කෙටුම්පත අවස්ථා කිහිපයකදීම  ඉදිරිපත් කළ නමුත් එය පෙර පැවති රජයේ කාලසීමාව තුළ අනුමත කරගැනීමට නොහැකි විය.
     
    ශ්‍රී ලංකාවට විවිධ වෙළඳ නම්වලින් ඖෂධ වර්ග 10,000ක් පමණ ආනයනය කරනු ලබයි. එහෙත් සත්‍යවශයෙන් ම ශ්‍රී ලංකාවේ භාවිත කරන ඖෂධ අනුව සළකන විට ඖෂධ වර්ග 500ක් පමණ මෙරටට ගෙන්වීම ප්‍රමාණවත් බව ගණන් බලා තිබේ.
     
    ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රසාදය හිමිව තිබේ.ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය  නගාසිටුවීම සඳහා රජය ගත් දැවැන්ත පියවරක් ලෙස මෙම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හැදින්විය හැකියි.
     
    ඉදිරි වසර පහ ඇතුළත රටට අවශ්‍ය ඖෂධ මෙන් ම වෛද්‍ය උපකරණ රට තුළම නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.
     
    මේ වැඩපිළිවෙල සඳහා ආයෝජකයන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වෙයි.ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ පමණක් නොව විදේශීය වෙලඳ පොළ ඉලක්ක ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙයි.
     
    ජනතාවට සාධාරණ මිල තත්ත්වය යටතේ උසස් ඖෂධ ලබාදීමට නව ඖෂධ පනත මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් මූලිකත්වය දරනු ලබන දැනට පවතින එකම   ඖෂධ අධිකාරිය වෙනුවට සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු සාමූහික මණ්ඩලයක් වන ඖෂධ නියාමන අධිකාරිය හදුන්වා දෙනු ලැබේ.මෙය ඉතාමත් ස්වාධීන උසස් ව්‍යුහයකින් සමන්විත ආයතනයක් වෙයි.
     
    නව ඖෂධ ප්‍රතිපත්තිය මගින් ඖෂධ අලෙවිසැල් සඳහා ද නියාමන ක්‍රමවේදයක් අනුගමනය කෙරේ. ඖෂධවේදියා විසින්  ඖෂධ වට්ටෝරුවට අනුව  ඔසුසලේ පවතින ඖෂධ නාමයෙන් වන ඖෂධවල මිල පෙළගැස්ම සහ වෙළඳ නාමයෙන් වන ඖෂධ පිළිබඳව ඔවුන්ගේ මිල ගණන් ද පාරිබෝගිකයා වෙත දැනුම් දිය යුතුය.
     
    මෙවැනි ක්‍රියාමාර්ග මගින් ඖෂධ ප්‍රචාරය සඳහා සිදු කරන අධික වියදම් ඖෂධ පාරිභෝගිකයාට දැරීමට සිදු වීම නතරවනු ඇත. එය ජනතාවට  ලැබෙන සහනයකි.
     
    වඩාත් කාර්යක්ෂමව ඖෂධ ලියාපදිංචි කිරීමත් ඖෂධ සම්බන්ධව පටිපාටි හොඳින් නියාමනය කර පුළුල් සෞඛ්ය ප්‍රතිපත්තිය තුලනය කරමින් සාමාන්‍ය ජනතාවගේ උපරිම සුභසිද්ධිය උදෙසා රජය සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ මෙම දැවැන්ත පියවර තබා තිබේ.
     
    PR
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya