නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගත පරපුරට සියලු සාර්ථකත්වයන් රැගෙන එමු Featured

    පෙබරවාරි 04, 2015
    උදා වූ නිදහස තුළ අප ඉදිරියට ගමන් කිරීමේ දී මෙම භූමියේ අනාගත හිමිකරුවන් වන අපේ ළමා පරපුර හා අනාගත පරපුරට සියලු සාර්ථකත්වයන් රැගෙන ඒමට සාමය හා එකමුතු බව ශක්තිමත් කිරීමට සහතික වන බව නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
     
    එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වෙයි.
     
    අද පවත්වන 67 වන නිදහස් සංවත්සරය වඩාත් සුවිශේෂී වන්නේ මෙය අප දේශයේ යහපාලනයේ නව යුගයක ආරම්භය ද වන බැවිනි.
     
    මෙය අප දේශයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට සියලු ජන‍ කොටස් එක්සත්ව කැපවී සිටිමින් යළි හිස එසවීමට උත්සාහ දරන යටත්විජිතවාදී බලවේගයන් පරාජය කරමින් අනාගතය දෙසට නව සවියකින් පිවිස සිටින අවස්ථාවකි.
     
    අප රට ලබාගත් සාමය සවිමත් කර අභිවෘද්ධිය සහතික කිරීම සඳහා ජනතාවගේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙන නව සමාජීය, දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තීන් අවශ්‍ය වේ. අපට ආවේණික සම්ප්‍රදායයන් වන මෛත්‍රීය සහ අවබෝධය මත පදනම් වූ යහපාලනයක් ද සමාජ සුබසාධනය සහ ආර්ථික ප්‍රගතිය ද එහි අත්‍යාවශ්‍ය මූලාංග වෙති.
     
    මීට 67 වසරකට පෙර අප දිනාගත් නිදහස වඩාත් ශක්තිමත් කිරීමට නම් අප තරුණ පරපුරට නව නිපුණතා, දැනුම හා තාක්ෂණය උදෙසා ප්‍රවේශය ලබා දී එම ශක්තිය තුළින් රටේ නිදහසේ ජීව ගුණය යළි දැල්විය යුතුය.
     
    මේ නිදහස් සැමරුම ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උදාර පරිත්‍යාගයන් සමඟ අපේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගත් ආරක්ෂක හමුදාවන්ට අපේ ප්‍රණාමය පුද කිරීමට අවස්ථාවයි. එමෙන්ම මීට ශත වර්ෂ දෙකකට පෙර අහිමි වූ නිදහස යටත්විජිත පාලකයින්ගෙන් යළි දිනාගැනීම උදෙසා අරගල කළ සියලු ජනවර්ගවලට, ආගම්වලට හා මතවාදයන්ට අයත් අතීතයේ නිදහස් සටන්කාමීන් ද මෙහි දී අප සිහිපත් කළ යුතුය. මෙම සුවිශේෂ අවස්ථාව සියවස් ගණනාවක් පුරා අප රටේ පැවති ජාතික සමඟිය, මෙත්තා කරුණා පිළිවෙතට අනුකූලව සංහිඳියා තුළින් වඩාත් අර්ථාන්විත කර ගැනීමට කැප විය යුතු මොහොතකි.
     
    විදෙස් සබඳතාවන්හිදී නොබැඳි පිළිවෙත සමඟ බැඳී සිටින අපි ලෝක ප්‍රජාව සමඟ වඩාත් මිත්‍රශීලීභාවයක් බලාපොරොත්තු වෙමින් සාමය, ස්ථාවරභාවය, ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍යය වෙත වූ අපේ පියවරයන්ට උපකාරී වන ජාත්‍යන්තර සබඳතාවන්ටත් කැප වී සිටිමු.
     
    භූමියේ හා ප්‍රජාවේ බාධකයන් අතික්‍රමණය කරනවා පමණක් නොව සියලු ආකාරයන්ගෙන්ම දූෂණය මුලිනුපුටා දමන හා ජනතාවට තම නායකයන් විසින් සැබෑ සේවයක් කිරීමට දිරි දෙන දේශානුරාගයක්, එකමුතුබව හා අවබෝධය තුළ සිටින අපේ ජනතාව තුළ පිළිබිඹු විය යුතුය. නිදහස තුළ අප ඉදිරියට ගමන් කරන විට මෙම භූමියේ අනාගත හිමිකරුවන් වන අපේ ළමා පරපුර හා අනාගත පරපුරට සියලු සාර්ථකත්වයන් රැගෙන ඒමට සාමය හා එකමුතුබව ශක්තිමත් කිරීම අපි සහතික කරමු. අභිමතාර්ථයේ සහ අවංකත්වයේ බැබළෙන ආලෝකය තුළ සාමයේ, නිදහසේ හා සෞභාග්‍යයේ අනාගතයක් ද යහපාලනය ද ගොඩනැඟීමේ ප්‍රතිඥාවක් තුළ අපි බැඳී සිටිමු.
     
    ජනාධිපති
    මෛත්‍රීපාල සිරිසේන

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya