නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙජින් ගණුදෙණුව නොතිබුණා නම් තෙල් මිල තවත් අඩු කළ හැකිව තිබුණි - නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියයි Featured

    පෙබරවාරි 02, 2015

    පසුගිය ආණ්ඩුව සමයේදී සිදුවූ හෙජින් ගණුදෙණුව හේතුවෙන් ලංකාවට මිලියන ගණනක විශාල පාඩුවක් සිදු නොවුයේ නම් එහි වාසිය පාරිභොගිකයාට ලබාදී ඉන්ධන මිල තවත් අඩු කිරීමට අවස්ථාවක් තිබුණායයි ප‍්‍රතිපත්ති සම්පාදනය හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කියයි. එහි මූල්‍යමය වටිනාකම මේවන විට ගණනය කරන බවකී අමාත්‍යවරයා පසුගිය රජය කාලයේදී ලෝකයේ බොරතෙල් මිල විශාල වශයෙන් පහත වැටී තිබුණත් එම රජය එහි වාසිය ජනතාවට කිසිදු ආකාරයකින් නොදුන් බව පෙන්වා දුන් එ් මහතා දින සියයේ වැඩපිළිවෙලෙහි ඉදිරිපත් කර ඇති යෝජනා හා පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකරන බවත් කීය.

    ‘‘ජනවාරි 30 වෙනිදා දක්වා පොරොන්දු කරුණු කිසිදු අමතක කිරීමකින්, මග ඇරීමකින් තොරව මේවන විට සිදු වී ඇත’’ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    මෙම කරුණු අනාවරණය වූයේ අද(02) දා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවනාගාරයේදී, ප‍්‍රතිපත්ති සම්පාදනය හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වැඩ පිළිවෙළ සහ වත්මන් රජයේ දින සියයේ විප්ලවය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවත්වූ මාධ්‍ය හමුවකදීය.

    මෙහිදී වැඩි දුරටත් මාධ්‍යවේදීන් ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ‘‘මේවන විට වත්මන් රජය විසින් අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයෙදි ඉදිරිපත් වූ, ජනතාව ඡුන්දය ලබාදුන් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙ මේ දක්වා ක‍්‍රියාත්ම කිරිමට තිබුණූ සියළුම කරුණු එ් ආකාරයෙන්ම ඉෂ්ඨ කරලා තියෙනවා. රජයේ සේවකයන්ගෙ වැටුපට රු.5000 ක් පෙබරවාරි මස සිට එකතු වෙනවා. විශ‍්‍රාම වැටුප්වල විශමතා ඉවත් කිරීමට අනුව විශ‍්‍රාම වැටුපට රු.3000ක් වැඩි වෙනවා. ලංකාවේ ප‍්‍රථම වතාවට දරු ප‍්‍රසූතියක් වෙනුවෙන් රු.20,000 ක දීමනාවක් ලබා දෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල පහත දමලා තියෙනවා. ගෑස් මිල රු.300 කින් අඩු කරන්න පුළුවන් වෙලා කියෙනවා. අල, ළුණු, තේ, රබර් සඳහා සහතික මිලක් ඇති කරලා තියෙනවා.’’ යනුවෙන්ද වැඩි දුරටත් කරුණු පැහැදිලි කරන ලදි.

    අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු වුවත් පරිප්පු, කරවල සහ සහල් වැනි භාණ්ඩවල මිල කිසිදු අඩු කිරීමකට ලක් නොවූ බව සඳහන් කරමින් මාධ්‍යවේදියෙක් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යතුමා කියා සිටියේ පරිප්පු සඳහා වර්තමානයේ ඇති බද්ද රු.2ක් වැනි සුළු මුදලක් බවත්, කරවල මේවන විටත් දේශීය වශයෙන් නිපදවන බවත් සහල් සඳහා මිල අඩු කිරීමේදී දේශීය වී ගොවීන් පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බැවින් එ් සඳහා පැලැස්තර විසඳුම් වෙනුවට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.

    තරඟකාරීත්වයක් නැති ව්‍යාපාර සඳහා මෙවර අයවැයෙන් සුපිරි බද්ද පණවා ඇති බවට අදහස් දැක්වූ එ් මහතා ඉදිරියේදී සුපිරි නිවාස බද්ධ තුළද පාරම්පරික දේපළ හිමියන් සැලකිල්ලට ගනිමින් යම් යම් සංශෝධන සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් දැක්වීය.

    මෙම මාධ්‍ය හමුව සඳහා ප‍්‍රතිපත්ති සම්පාදනය හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සමග ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාද සහභාගී විය.
    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya