අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. "අද ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් දිනයක්. මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න සීලාචාර ආණ්ඩුවක් බිහිකරන්න දින සියයකින් අලුත් රටක් ගොඩනගන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනතාව ජනවරමක් දුන්නා. ඒ සඳහා ඇප කැප වී කටයුතු කළ සියලු පාර්ශවයන්ට මම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පුදකරනවා.
මේ පාර්ලිමේන්තුව ලංකා ඉතිහාසයේ සුවිශේෂී පාර්ලිමේන්තුවක් වන්නේ ඒ නිසයි. රටේ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු අනෙකුත් පක්ෂ ගණනාවක් එක ම අරමුණකින් පොදු ගමනක් යන්නට සැරසෙනවා. එය සාර්ථක කර ගන්න අප හැමදෙනාගේම එකමුතුවත් සහයෝගයත් අවශ්‍ය වෙනවා. මේ තනි තනි ගමනක් නොවේ. රට වෙනුවෙන් යන සාමූහික ගමනක්.
දින සියයේ වැඩසටහනට අනුව අනුමත කර ගත යුතු වැඩසටහන් ගණනාවක් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණුඩු ක්‍රමයක්. 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිෂන් සභා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිසම් සභා ස්ථාපිත කරමින් 19 වන සංශෝධනය, ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත, ජාතික විගණන පනත, තොරතුරු දැන ගැනීමේ පනත වැනි පනත් ගණනාවක් සම්මත කර ගැනීමට තිබෙනවා. මේ පනත් පනත් ඉදිරිපත් කිරීමෙන් පසු ඔබ සැමගේ බුද්ධිමත් දැයකත්වයෙන් ඒවා තවත් ශක්තිමත් කරන්න කියා මා ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා පිහිටුවීමට ද අප ක්‍රියාකරනවා. ලබන 29 වෙනිදා පාර්ලිමේන්තුවට අතුරු අයවැය යෝජනා ඉදිරපත් කරනවා. ඒ මඟින් ජනතා සහන රැසක් ලබාදීම අපගේ අරමුණයි. මේ සියලු කටයුතු සඳහා ඔබගේ අදහස් උදහස් යොජනා සියල්ල අප වැදගත් කොට සලකනවා. පසුගිය කාලයේ අපගේ පාර්ලිමේන්තුව නොසැලකිල්ලට හා හෑල්ලුවට ලක්වූ බව අප සැවොම දන්නවා. පාර්ලිමේන්තුව සතුව මූල්‍ය බලතල ඇතුළු සියලු බලතල දියාරු කර තිබුණා. පාර්ලිමේන්තුව භාවිත කෙරුණේ කඩතුරාවක් හැටියට. සමහර වෙලාවට සැරසිල්ලක් හැටියට.
නමුත් යළිත් පාර්ලිමේන්තුව බලවත් කරලීම අප සැමගේ වගකීමක් හා යුතුකමක්. එය ඔබ සැමගේ අභිලාෂයක් බව මම දන්නවා. ඒ නිසා යළිත් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෑයමට එක්වන්න යැයි කියා ඔබ සැම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපේ ඉලක්කය මේ මුළු පාර්ලිමේන්තුව ම රාජ්‍ය පාලනය සඳහා දායක කර ගැනීමයි.
අපේ රටේ නව දේශපාලන සංස්කෘතියක් බිහිකරන්නට, ශීලාචාර ආණ්ඩුවක් නිර්මාණය කරන්නට, පවුල්වාදය වෙනුවට ජනසම්මතවාදය ස්ථාපිත කරන්නට, දූෂණයෙන් වංචාවෙන් තොර යහ පාලනයක් ඇති කරන්නට, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරන්නට පසුගිය මැතිවරණයේදී දේශපාලන පක්ෂ, සමාජ සංවිධාන, කණ්ඩායම් හා පුද්ගලයන් ගණනාවක් එකට අත්වැල් බැඳ ගත්තා. මැතිවරණ සමයේදීත් ඉන් පසුවත් තවත් කණ්ඩායම් හා පක්ෂ පොදු අරමුණට එක්වුණා.
මේ යහපත් චේතනාව ජය ගැනීමේ අරමුණ වෙනුවෙන් සමහරු ජීවිත පරිත්‍යාග කළා. දේපළ හානි කර ගත්තා. අසාධාරණයන් හා තාඩන පීඩනයන්ට මුහුණ දුන්නා. රාජ්‍ය මාධ්‍යයන්ගේ කෙනෙහිලිකම්වලට ලක්වුණා.
නමුත් විවිධ දේශපාලන ප්‍රතිපත්ති තිබුණත් පොදු සමාජ මෙහෙවරක් වෙනුවෙන් ක්‍රියාකළ මේ සියලු දෙනා නොබියව, අඛණ්ඩව, තම අරගලය ඉදිරියට ගෙන ගියා. රාජ්‍ය බලය, මැර බලය හා ධන බලයට වඩා ජන බලය බලවත් බව ඒ සටනේදී සනාථ වුණා. මහජන නියෝජිතයන් හැටියට දැන් අප සැමගේ වගකීම වන්නේ ජනතා මතය ක්‍රියාත්මක කිරීමයි.
අපේ පක්ෂ වෙනස්. අපේ ප්‍රතිපත්ති වෙනස්. අපේ දර්ශනය වෙනස්. නමුත් අපි පොදු පෙරමුණක් වෙනුවෙන් අත්වැල් බැඳගත්තා. විවිධ වර්ණවලින් යුත් දේදුන්නක් සේ අප එකට එක් වුණා. අපි රාජ්‍ය පාලනයේදීත් අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නේ ලිච්ඡවී සම්ප්‍රදායයි. විවිධ අදහස් තිබුණත් ඒ නිසා අපි සමඟියෙන් රැස්වෙමු. සමඟියෙන් සාකච්ඡා කරමු. සමඟියෙන් විසිර යමු. සම්මුතිවාදයෙන් රට පාලනය කරමු. අපේ දේශයේ නව දේශපාලන සංස්කෘතියක් බිහිකරමු" යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
NDH