සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවතින තත්ත්වය වෙනස් කළ යුත්තේ සැබෑ වෙනසකටයි

    දෙසැම්බර් 18, 2014
    යම් දෙයක පවතින තත්ත්වය වෙනස් කළ යුත්තේ ඊට වඩා ඉහළ තැනකට යාමට මිස පවතින තත්ත්වය පහළ දා ගැනීමට නොව සැබෑ වෙනසකට බව සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව පැවසුවේ අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    "ගැසට් පත්‍රයක් වෙනස් කරන්නාක් මෙන් ව්‍යවස්ථා වෙනසක් සිදු කිරීම සිදු කළ නොහැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුත්තේ අනාගතයක් දෙස බලා මිස එකිනෙකාගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට නොවේ. එය සිදු කළ යුත්තේ වසර 50ක් පමණ අනාගතයක් දෙස බලායි. පොදු විපක්ෂයට වෙනසක් අවශ්‍යයි 
     
    කියනවා. නමුත් වෙනසක් නිසා විනාශ වෙනවාද? විනාශය වැළැක්වීම සඳහා වෙනස් වෙනවාද යන්නත් සිතා බැලීම අවශ්‍යයි".
     
    "වත්මන් තරුණ පරම්පරාව මීට වසර 20කට පමණ පෙර තිබූ වෙනස දැක නැහැ. වෙනසක් අවශ්‍ය වූ පමණින් එහි තරාතිරම නොබලා කටයුතු කිරීම අමු කැළෑ ගිනි තැබීමක් වගෙයි. එමෙන් ම ගොඩනගාගෙන ඇති දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් ලබාගත් ජයග්‍රහණයන් තාවකාලික වෙනසක් අරමුණු කරගෙන දියාරු කරගන්නාවාද කියා සිතිය යුතුයි". 
     
    පොදු විපක්ෂයේ නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති බවත් පෙන්වා දෙන ඒ මහතා ඔවුන් තුළ ඇත්තේ හුදු සටන් පාඨයන් පමණක් බවත් පෙන්වා දෙයි.
     
    "පොදු විපක්ෂය පවුල් වාදයට චෝදනා කරනවා. රාජපක්ෂ පවුල විතරද පවුලකට තිබෙන්නේ. සේනානායක, බණ්ඩාරනායක පවුල් තිබුණේ නැද්ද මේ රටේ දේශපාලනය තුළ. මේ පවුල් වාදයට එරෙහි ව චෝදනා කරන පුද්ගලයනුත් බලාගෙන සිටින්නේ දිගහැරෙන්න බැරිව. මේ සියලු දේ සටන් පාඨයන් පමණයි". 
     
    "තව දූෂණය ගැන කතා කරනවා. කිසිත් නොකරන තැනක දූෂණයක් තිබිය නොහැකියි. පිඟන් සෝදන පුද්ගලයෙකු අතින් පිඟන් කැඩීමට අවස්ථාව තිබෙනවා. නමුත් බැලිය යුත්තේ බිඳුණු පිඟන් ගණන නොව ඔහු සේදු පිඟන් ගණනයි". 
     
    "ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණක් නොව. බුදු හාමුදුරුවන්ට. අනගාරික ධර්මපාල තුමාට, ටී.බී. ඉලංගරත්න, ඇන්. ඇම්. පෙරේරා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට මේ සියලු දෙනාට චෝදනා එල්ල වුණා. කතාන්දර නොව ඔවුන් කොයි තරම් සේවයක් කලා ද යන්න පමණයි බැලිය යුත්තේ. මේ සියලු දෙනාට ජීවත් ව සිටියදී පහර ගැසුවා. නමුත් මරණයට පත් වුණාම ගුණ ගායනා කරනවා". 
     
    "රොනී ද මැල් මහතා වසර 30කින් නිමා කිරීමට තිබූ මහවැලි ව්‍යාපෘතිය වසර 06ක් තරම් කෙටි කාලයක් තුළ නිම කළා. මේ ව්‍යාපෘතිය වසර 30ක් පුරා ක්‍රියාත්මක කළා නම් වියදම දහස් ගුණයකින් වැඩි වෙනවා. නමුත් ඒකෙන් ලැබුණු වාසිය කිසිවෙක් ගණන් බැලුවේ නැහැ. වේගවත් ගමනක් යන විට බැලිය යුත්තේ අවසාන ප්‍රතිඵලය දෙසයි. වෙනසක් කරන්න නම් ඉතා උසස් දර්ශනයක් හා තාර්කික බවකින් යුත් පදනමක් අවශ්‍යයි. රොටිය අනිත් පැත්ත ගහන්නයි කතා කරන්නේ. නැතිව එතැනට බත් මුට්ටියක් ගේන්න නෙවෙයි. රොටිය කොයි පැත්ත දැම්මත් එකයි. එතන වෙනසක් නෑ. කවුද වඩා දක්ෂ කියන එකයි වැදගත් වෙන්නේ. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. පවතින දෙයට වඩා වැඩි යමක්, වැඩි ජයග්‍රහණයන් රටට ලබාදිය හැක්කේ කාටද යන්නයි සිතිය යුත‍්තේ".
     
    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යාමේ පෝලිමේ ඉදිරියෙන් ම සිටියේ රෙජිනෝල්ඩ් කුරේ මහතා බවට විපක්ෂයෙන් චෝදනාවක් එල්ල වන බවට මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුරු දෙමින් රෙජිනෝල් කුරේ මහතා සඳහන් කළේ වෙනස් විය යුතු යන මතයේ තමන් තවමත් සිටින බවත් වැදගත් වන්නේ එම කාර්යය කෙරෙන්නේ කාගෙන්ද යන්න පමණක් බවත් තම අරගල තවමත් අවසන් වී නොමැති බවත්ය.
     
    පක්ෂය කඩාගෙන යන්නට  නම් බරපතල වරදක් තිබිය යුතු යැයි පෙන්වා දෙන අමාත්‍යවරයා විධායක ජනාධිපති ධුරය අර්ථයට, සුජාත බාවයට වටිනාකමක් ලබා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් පෙන්වා දුන්නේය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya