සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අහසට පොළොව වගේ තත්ත්වයක් උඩ ආණ්ඩු හදන්න බෑ Featured

    දෙසැම්බර් 18, 2014
    පොදු විපක්ෂයේ සියලු දෙනාගේ මතිමතාන්තර පරස්පර විරෝධී පිළිගත නොහැකි එකඟතාවන් සහිත වූ මෙවැනි අහසට පොළව වැනි තත්ත්වයක් මත සිට ආණ්ඩු නිර්මාණය කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. 
     
    "විවිධ රටවල සිදු වූ සිදුවීම් හරහා පැහැදිලි වෙනවා ලංකාවේ පවතින තත්ත්වය ආරක්ෂා වී තිබෙන්නේ පවතින දේශපාලන ස්ථාවරත්වය මත. මේ සියලු දේ අහම්බෙන් නො ව දුක්විඳිමින් ලබා ගත් දේවල්. හිතේ බිය සැක නැති ව අද ජනතාව ජීවත් වෙනවා. රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය නැති වුවහොත් ලබාගත් සියලු ජයග්‍රහණයන් අහිමි වෙනවා". 
     
    "විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හරහා ආණ්ඩුකාර ධුරය ද නැති වී යනවා. ආණ්ඩුකාරවරයා යනුවෙන් අදහස් කරනු ලබන්නේ ජනාධිපතිතුමාගේ නියෝජිතයා. මෙවැනි වු දේවල් වටහා ගත හැකි තත්ත්වයක ජනතාව සිටිනවා". 
     
    "පොදු සන්ධානය වටා සියලු දෙනා ඒකරාශී වී සිටින්නේ කෙටි කාලීන අවශ්‍යතාවන් සඳහායි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කිරීමටයි". 
     
    කොටි ත්‍රස්තවාදීන් ඊළම අත්හැර නොමැති බවත් ඔවුන් එය ලබාගැනීමේ ක්‍රමවේදය පමණක් වෙනස් කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.
     
    "විධායක ජනාධිපතිධුරයට පත්වෙන පුද්ගලයාට එහි බලය පාවිච්චි කළ හැකියි. නමුත් එය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම සිදු කරන්නේ පාර්ලිමේන්තුව. ඒකට 2/3ක පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි. පොදු විපක්ෂයට ඒ සඳහා බලයක් නෑ. පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් තිබුණ ද ජනමත විචාරණයක් ද අවශ්‍ය වෙනවා. ඒ සියලු දේ ඔවුන් කියන අයුරින් සිදු කළ නොහැකි දේවල්". 
     
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණය හොත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත බලතල පැවරීම සිදු කරන බවට කරන ප්‍රකාශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අවනම්බුවක් සිදු වන බවත් එතුමාට බලතල අවශ්‍ය නම් ඒ සඳහා ඒ මහතා ඉදිරිපත් විය යුතු බවත් පීරිස් මහතා පැවසීය.
     
    "පවතින තත්ත්වයට විපක්ෂය ප්‍රමුඛ පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ වෙනසක්. ඒ වෙනසට හේතුවක් මෙන් ම අරමුණ ඉෂ්ඨ කරගැනීමේ ක්‍රමයක් අවශ්‍යයි. ආසියාවේ ජනතාව වෙනසක් ඇති කරන පලියට වෙනස් වෙන්නේ නෑ. රජය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා නම් ජන ජීවිතය වෙනස් වෙනවා නම් ඒකට අවශ්‍ය අවකාශ සැලසීමයි ආසියානු සංස්කෘතිය". 
     
    පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය අගය කිරීමට ලක් කළ බවද එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    පලිගැනීම් මුලකර ගනිමින් ආණ්ඩු නිර්මාණය කළ නොහැකි බවත් ජනතාවට හිතකර රජයක් ඒ හරහා ස්ථාපිත කළ නොහැකි යනුවෙන් ද කීය.
     
    මේ පවතින තත්ත්වය පිළිබඳ ව රටේ ජනතාව ඉතා අවබෝධයෙන් කටයුතු කරන බැවින් දිනෙන් දිනම ජනාධිපතිතුමා වෙත සහය ලබාදීමට එක්රොක් වන බවත් පෙන්වා දුන් මහාචාර්යවරයා ඉදිරි මැතිවරණයේ දී ජනතාව ඉතා බුද්ධි ගෝචර තීරණයක් ගනු ඇතැයි විශ්වාස කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya