සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ණය පොලී අනුපාත" පිළිබඳ ව ප‍්‍රසිද්ධ විවාදයකට ඇමැති විමල්ගෙන් අභියෝගයක්

    දෙසැම්බර් 17, 2014
    10% ඉක්ම වූ ණය පොලී අනුපාතයකට ව්‍යාපෘති සඳහා ණය ලබා ගත් සැබෑ මෙගා ඩීල්කරුවන් සමග හිටගෙන සිටින ඇතමුන් අද ආණ්ඩුවට බොරු චෝදනා ඉදිරිපත් කරන බවත් එසේ නොකර හැකි නම් ව්‍යාපෘති සඳහා ලබාගත් ණය පොලී සම්බන්ධ ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඒ පිරිසට තමන් අභියෝග කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
     
    අද (17) කොළඹ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    "අද ඇතැම් පාර්ශ්ව මතයක් හදනවා, මේ ආණ්ඩුව 7%ක පොලියකට විදේශ ණය අරගෙන විශාල ගසා කෑමක් සිදු කළා කියලා. නමුත් මම පෙන්වා දෙන්න කැමතියි, එසේ චෝදනා කරන මහත්වරු රට පාලනය කරන අවස්ථාවල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතා ඉහළ පොලී අනුපාතයකට ණය ලබා ගෙන තිබුණු බව. මැදි ආදායම් රටක් වීමට කලින් ලැබෙන සහන වැඩියි. එසේ තිබියදීත් මේ චන්ද්‍රිකා නෝනා සහ ජේ.ආර්. ජනාධිපතිතුමන්ගේ අනුප‍්‍රාප්තිකයා නියෝජනය කරන පාර්ශ්ව ඉතා ඉහළ පොලී අනුපාතිකයකටයි සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා ගෙන තිබුණේ".
     
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් බලයට පත් වීමට ප‍්‍රථම 2005 දක්වා කාලසීමාව තුළ නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා ප‍්‍රංශයේ වාණිජ බැංකුවක් සමග 1982/09/28 දින ණය ගිවිසුමකට එළැඹී තිබෙනවා. ගත් ණය මුදල ප‍්‍රංශ ප‍්‍රෑන්ක් මිලියන 23.8යි. වාර්ෂික ණය පොලී අනුපාතියක 10.85%යි. ඒ ව්‍යාපෘතිය සඳහා ම 1984/01/24 දින ෆ්‍රෑන්ක් මිලියන 20.8ක් ලබා ගෙන තිබෙනවා. ඒත් වාර්ෂික පොලිය 10.85%යි. ඊළඟට එම ව්‍යාපෘතිය සඳහා 1987 දී තවත් ෆ්‍රෑන්ක් මිලියන 69.2ක් ලබාගෙන තිබෙනවා අලුත් ණය ගිවිසුමක් මගින්. පොලිය 8.59%යි.
     
    ඒ වගේම 1986 සමනල වැව ජල විදුලි ව්‍යාපෘතියකට බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 38.6ක් අරගෙන තිබෙනවා. වාර්ෂික පොලිය 7.4%යි. 1986දී බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 5.3ක් ඒ ව්‍යාපෘතිය සඳහා යළි අරගෙන තිබෙනවා. පොලිය 8.3%යි. කොත්මලේ ඔය ව්‍යාපෘතියට ණය අරගෙන තිබෙන්නේ 9.95%ක පොලී අනුපාතිකයකට. අඹතලේ ජල පිරිපහදු ව්‍යාපෘතියට 1990 දී 9.2%ක පොලියට ෆ්‍රෑන්ක් මිලියන 61.5ක් ලබා ගෙන තිබෙනවා. 2001 දී මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපෘතියට අරගෙන තිබෙනවා යුරෝ මිලියන 6.7ක්. වාර්ෂික පොලී අනුපාතිකය 7.7%යි. මේවාට තමයි "මෙගා ගැහිලි".
     
    2005 මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත් වූවාට පසු ගත් විදේශ ණය මුදල් සලකා බැලුවොත් කිසිදු ව්‍යාපෘතියකට 7% ඉක්ම වූ පොලී අනුපාතිකයකට ණය අරගෙන නැහැ. 2 - 3% ණය පොලී අනුපාතිකයකට බොහෝ විට ණය අරගෙන තිබෙන්නේ. 4 - 5% දක්වා පොලී අනුපාතිකයකට ‘එක්ස්ෂින්’ බැංකුව වැනි බැංකුවලින් ණය ගත් අවස්ථාත් කිහිපයක් තිබෙනවා. මේ ඇතැම් පාර්ශ්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සම්බන්ධයෙන් එසේ නැති එකක් මවන ගමන්, 10% ඉක්ම වූ පොලී අනුපාතිකයකට ණය ගත් රනිල් - චන්ද්‍රිකා පාලනයන්ට ‘සුදු හුණු’ ගානවා. 
     
    අද මේ අය නියම මෙගා ඩීල්කාරයන් සමග හිටගෙන 7% ඉක්ම වූ පොලී අනුපාතිකයකට කිසිදු අවස්ථාවක ණය නොගත් මේ ආණ්ඩුවට ‘මෙගා ඩීල්කාරයා’ කියමින් ඇඟිල්ල දිගු කරනවා. ඇත්ත මෙගා ඩීල්කාරයන් බලයට ගෙනෙන්න කොන්ත‍්‍රාත් අරගෙන අද මේ අය කරන්නේ දේශපාලන තක්කඩිකමක්. මේ අයට අපි අභියෝග කරනවා, ‘ඉහළ පොලී අනුපාතිකයකට සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගත්තේ කවුද?’ කියන මාතෘකාව යටතේ ප‍්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. ඒකට අපි ලෑස්තියි.
     
    පොදු අපේක්‍ෂකයා වුණාට පස්සේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා වරද්දා ගැනීම් කිහිපයක්ම සිදු කළා. නමුත් ඒවා මුද්‍රිත මාධ්‍යවල නම් පළ වූයේ නැහැ. යම් ආකාරයක හීලෑ කිරීමක් නිසා එහෙම වෙනවාද? කියා මා දන්නේ නැහැ. 
     
    ජනාධිපතිතුමා ‘ෆයිල් කතාවක්’ කීවාම ඒක ශීර්ෂ පාඨ සහිතව පළ කළාට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිදු කළ බරපතළ වරද්දා ගැනීම් නම් එකක, දෙකක හැරුණාම බොහෝ මුද්‍රිත මාධ්‍ය මගින් දැක ගැනීමට ලැබුණේ නැහැ. ඒ වගේම ඔහුගේ සහෝදරයා සම්බන්ධයෙන් අපි කළ ප‍්‍රකාශත් මුද්‍රිත මාධ්‍ය මගින් පළ කළ බව දැක ගැනීමට ලැබුණේ නැහැ.
     
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔළුවේ අමාරුවක් තියෙනවා. එහෙම අමාරුවක් තියෙන අයට අපේ රටේ දැනට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට, මූලික නීතියට අනුව ජනාධිපතිවරණයකට තරග වදින්න බැහැ. එහෙම තැනැත්තකු ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු වීමට සුදුසු නැහැ. මම මේ කියන්නේ මගේ නිගමනයක් නොවෙයි. එතුමා කරපු ප‍්‍රකාශය, පසුව ඒකට දීපු පිළිතුර, ඉදිරිපත් කරපු තර්කය අනුව ඕනෑම කෙනකුට එළඹිය හැකි නිගමනය තමයි ‘එතුමාට ඔළුවේ අමාරුවක්’තිබෙන බව. එහෙනම් එතුමා ජනාධිපති ධුරයට තරග වැදීමට රටේ නීතියට අනුව නුසුදුස්සෙක් වෙනවානේ. එතුමාගේ තර්කයට අනුව එතුමා එහෙනම් ජනාධිපති ධුර අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ද වැඩිදුරටත් පැවසීය.
     
    මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර හා මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya