සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු අපේක්ෂක මෛත්‍රී ප්‍රමුඛ පොදු විපක්ෂය හෙළා දකිනවා - ජගත් භික්ෂු එකමුතුව කියයි

    දෙසැම්බර් 13, 2014

    විදෙස් රටවල ලාංකීය භික්ෂු සහය ජනපතිටයි

    විදේශගතව සිටින භික්ෂූන් වහන්සේලාගේ නොමඳ සහය ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවන බවටත්, රට දෙකඩ කිරීමට යන ජාත්‍යන්තර බලවේගයන් හට කිසිදු අවස්ථාවක් නොදෙන බවටත්, ජාත්‍යන්තර බලවේග වෙනුවෙන් පෙනී සිටින පොදු අපේක්ෂක මෛත්‍රී ප්‍රමුඛ පොදු විපක්ෂය හෙළා දකින බවත් ජාත්‍යන්තර භික්ෂු එකමුතුව පවසයි.


    කොටි ත්‍රස්තවාදය පරාජය කළ දා සිටම රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් අප රට තුළ මෙන්ම විදේශීය රටවලදීද සිදුවන බව රහසක් නොවන බවත්, එහි උච්ඡතම අවස්ථාවට දැන් අප මුහුණ පා සිටින බවත් එම භික්ෂු එකමුතුව මගින් පෙන්වා දුන්හ. මේ වන විටත් විදේශයන්හි ක්‍රියාත්මක සංවිධාන හා බලවේග ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ සක්‍රීය කර ඇති අතර ඒ සඳහා සංවිධානය වීම් හා මුදල් රැස්කිරීම් සිදුවන බව එම එකමුතුව වැඩිදුරටත් පැහැදිලි කළහ. මේ සියල්ලෙහිම අරමුණ වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකර ඔවුන්ට අවශ්‍ය පරිදි හැසිරවිය හැකි මෛත්‍රීපාල වැනි නායකයකු පත්කරගැනීම හා ඒ හරහා කොටි ත්‍රස්තවාදය නැවතත් රට තුළ ස්ථාපිත කිරීම බව ජාත්‍යන්තර ශ්‍රී ලංකා භික්ෂු එකමුතුව වැඩි දුරටත් අවධාරණය කර සිටියහ.


    මෙම කරුණු අනාවරණය කර සිටියේ ඊයේ (12) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුවේ මුලසුන හෙබවූයේ එම සංවිධානයේ සභාපති ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක හා ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත, ආචාර්ය වල්පොළ පියනන්ද හිමිපානන් විසිනි. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රංශයේ ජේතවනාරාමාධිපති පූජ්‍ය මුරුංගාගස්යායේ ඤාණීස්සර හිමි, ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය පරවාහැර චන්දරතන හිමි, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කඹුරාවර රේවත හිමි, ජපානයේ ලෝක සාම බෞද්ධ විහාරාධිපති ආචාර්ය පැල්පොළ විපස්සි හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වූහ.


    මාධ්‍ය හමුව ඇමතු එම එකමුතුවේ සභාපති තැන්පත් ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක හා ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද හිමිපානන් මෙසේ ප්‍රකාශ කළහ. “අපි පෙළ ගැහෙන්නෙ පක්ෂයක් වෙනුවෙන් නෙවෙයි. අපි මේ සහය දක්වන්නෙ රටක් ගැන හිතලා. අපි මේ රටට ආදරෙයි. වසර 30ක යුද්ධය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉවර කරලා දැම්මා. යුද්ධය අවසාන කාලෙදි ප්‍රධාන පෙළේ රටක තානාපති වරු හතර දෙනෙක් ප්‍රභාකරන්ව ගෙනියන්න උත්සාහ කෙරුවා. චන්ද්‍රිකා එල්ටීටීයත් එක්ක ගිවිසුම් ගැහුවා. රනිල් එල්ටීටීඊ එක්ක හොර ගිවිසුම් ගැහුවා. රනිල්ට ඕන වුනේ සාමය පෙන්නලා රට දෙකඩ කරලා හරි නොබෙල් තෑග්ග ගන්න. මුළු ශ්‍රී ලාංකික ජනයාගෙන්ම අපි ඉල්ලන්නේ දිනූ නිදහස රැකගනිමු කියලා. එදා බස් එකක නැග්ගොත් බහින එක ගැන විශ්වාසයක් තිබුණෙ නෑ. දරුවා පාසල් ඇරලා අම්මලා පාර බලාගෙන ඉන්නෙ ගෙදර එයිද නොඑයිද කියලා බයෙන්. භික්ෂුන් මැරුවා, ශ්‍රී මහා බෝධිය ලේ විලක් කෙරුවා. දළදා මාලිගාවෙ, අරංතලාවේ, දිඹුලාගල සිද්ධි අපිට අමතක කරන්න බෑ. අද ඒ වගේ තත්වයක් නෑ.“


    මාධ්‍ය හමුව ඇමතූ ආචාර්ය පැල්පොළ විපස්සී හිමියන්, “රටට විපතක් වෙනවා නම් භික්ෂූණ් කවදත් පෙරමුණ ගත්තා. ඉස්සර පාරවල් හදන්න ගල් ගෙනත් බාපුවහම ටික දවසකින් ඒ ගල්ගොඩවල් උඩින් වැල් යනවා. අන්තිමට වැලුත් නෑ ගලුත් නෑ පාරවලුත් නෑ. අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. මං මාවත් ඉදි වෙලා තියෙනවා. අධිවේගී මාර්ග ඉදි වෙලා තියෙනවා. ගුවන්තොටුපොළවල්, වාරයවල් අලුතෙන් හැදිලා තියෙනවා. අපිට දේශපාලන ඉතිහාසයේ නොයෙක් නායකයො පත්වෙලා හිටියා. නමුත් මේ අවුරුදු 10ක් වැනි කෙටි කාලයක් තුළ විශාල වෙනසක් රටේ සිදු වෙලා තියෙනවා. ඔය එහාට මෙහාට පනින දේශපාලඥයො එහෙම කරන්නෙ ජනතාවට ආදරේට නෙවෙයි. එයාලගෙ වාසිය වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ ඇර වෙන නායකයෙක් අපිට නෑ. අපි මවු බිම ආරක්ෂා කර ගත යුතුයි“ යනුවෙන් පැවසූහ.


    ජාත්‍යන්තර භික්ෂු එකමුතුව නිවේදනයක් ද නිකුත් කරමින් රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් සියලු ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු බවත් අවධාරණය කර සිටී.


    එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

    කොටි ත්‍රස්තවාදය පරාජය කළ දා සිටම රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණ කාරී වැඩ පිළිවෙළක් මෙරට මෙන්ම විදේශයන්හී ද සිදුවන බව නොරහසකි. එහි උච්චතම අවස්ථාවට දැන් අපි මුහුණ පා සිටිමු.අපගේ මාතෘ භූමිය වසර කිහිපයකට ප්‍රභාකරන්ට භාරදීමට යෝජනා කළ හා රට බෙදීමට ගිවිසුම් ගැසූ නායක නායිකාවෝ මේ කුමන්ත්‍රණ ව්‍යාපාරයේ කරළියට පැමිණ සිටින බව පැහැදිලිව පෙනේ.


    ත්‍රස්තවාදය පරාජයකර මෙතරම් කෙටි කාලයකින් සංවර්ධනය කරා පියවර මැන්න රටක් ලෝකයේ කොතනකවත් නොමැති බව නොරහසකි. එය ද රටට එරෙහි බලවේගවලට ඉවසා දරා ගත නොහැක්කකි.මේ වන විට විදේශයන්හී ක්‍රියාත්මක සංවිධාන හා බලවේග අපගේ මාතෘභූමිය අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ සක්‍රීය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය සංවිධානවීම්, මුදල් රැස්කිරීම් දැනටමත් සිදුකරගෙන යන බව අප පැහැදිලිවම දන්නා කරුණකි.


    මේ සියලු බලවේගවල අරමුණ රටට සාමය උදාකර රට සංවර්ධනය කරා ගෙන ගිය මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකර ඔවුන්ට අවශ්‍ය දුර්වල නායකත්වයක් රටට පත්කර ගැනිමයි. එසේ වුවහොත් රට අස්ථාවර වී රටේ සංවර්ධනය ඇණහිට කොටි ත්‍රස්තවාදය යළි නැගී සිටිනු ඇත. එසේ හෙයින් මේ තීරණාත්මක මොහොතේ බුද්ධිමත්ව සිතා බලා රටට එරෙහි බලවේග පරාජය කර රටට නිදහස ලබා දුන් අභීත නායකත්වයට රට යළි භාරදීමට ක්‍රියාකර යළි කදුළු සලන යුගයකට ගෙන යෑම වළක්වා ගන්නා ලෙස මාතෘ භූමියේ හා විදේශයන් හී වෙසෙන සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමු.


    මේ ප්‍රකාශය අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක හා ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමි, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රංශයේ ජේතවනාරාමාධිපති පූජ්‍ය මුරුංගාගස්යායේ ඤාණීස්සර නාහිමි, ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය පරවාහැර චන්දරතන නාහිමි, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කඹුරාවල රේවත නාහිමි, නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක හා ඕක්ලන්ඩ් ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍ය වල්ගම ශ්‍රී මුනින්දවංස නාහිමි, ඉතාලියේ ප්‍රධාන සංඝනායක රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම නාහිමි, මැලේසියාවේ පිනෑන්හී ශ්‍රී මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන නාහිමි, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති ලේඩියංගල සුදස්සී නාහිමි, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක එංගලන්තයේ බර්ම්න්හෑන් නුවර ජේතවනාරාමාධිපති කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමි, ඩෙන්මාර්කය කිරිදිගල්ලේ ඤාණරතන හිමි , අමෙරිකාවේ ඇනහෙම්නුවර ශ්‍රී රතන විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බෝගොල්ලේ සුමන හිමි, අමෙරිකාවේ රිවසයිඩ් හී සම්බුද්ධාලෝක විහාරාධිපති ශාස්ත්‍රවේදී වතෝගල සරණසිරි මාහිමි, කැනඩාවේ ප්‍රධාන සංඝනායක වැයිහේනේ පඤ්ඤාලෝක නාහිමි, අමෙරිකාවේ කැන්සාස් බෞද්ධ විහාරයේ සභාපති මාඉටිපේ විමලසාර හිමි, අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බුද්ධි විහාරාධිපති පූජ්‍ය කහඳ අමරබුද්ධි හිමි, මැලේසියාවේ පිනෑන් ශ්‍රී මහින්දාරාමාධිකාරී පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගතාරේ ඤාණාලංකාර හිමි, භාරතයේ ප්‍රධාන සංඝනායක හා සංකස්ස නුවර දේවාරෝහණ මහා විහාරාධිපති ආචාර්ය ජූලම්පිටියේ ඤාණරතන නාහිමි, භාරතයේ ප්‍රධාන සංඝනායක හා කුසිනගර් හී ජපන් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති හල්විටිගල අස්සජී මාහිමි, අමෙරිකාවේ ඇසුසා නුවර ලංකාරාමාධිපති අලුත්නුවර සුමනතිස්ස නාහිමි, නිව් ඉංග්ලන්ඩ් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති අලුත්ගම ධම්මජෝති හිමි, සරත්චන්ද්‍ර බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත අම්බලන්තොට කෝලිත හිමි, ෆාම්ඩේල් හි සිරි පඤ්ඤාසීහ බෞද්ධ විහාරාධිපති යටිරාවන සිරිනිවාස මාහිමි, අමෙරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති තලංගම දේවානන්ද මාහිමි, ජපානයේ ලෝක සාම බෞද්ධ විහාරාධිපති හා ජපානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පැල්පොල විපස්සි නාහිමි, එක්සත් රාජධානිය ශාස්ත්‍රපති බඹරකොටුවේ ආනන්ද මංගල හිමි, ඉන්දියාවේ නවදිල්ලි නුවර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පල්ලේගම විජිත හිමි යන මහා සංඝරත්නය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya