මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ සමුළුව පැවැත්වීමට ලැබීම දැවැන්ත ජයග්‍රහණයක්

    අප්‍රේල් 28, 2014
    ලෝක තරුණ ජනගහණයෙන් 60%කටත් වඩා ජීවත් වන ආසියානු කලාපයේ ලෝක තරුණ සමුළුවක් පැවැත්වීමට හැකියාව ලැබීම ආසියාව ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
     
    ලෝක තරුණ සමුළුව පිළිබද යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේදී ආයතන ප්‍රධානීන් සමග කරන ලද සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ලබන මස 06 වන දින සිට 09 වන දින දක්වා ලෝක තරුණ සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය.
     
    "ලෝකයේ ප්‍රථම වරට ජාත්‍යන්තර මට්ටමේ තරුණ සමුළුවක් පවත්වා ඇත්තේ 1936 දීයි.එයින් පසුව එක් අවස්ථාවකදී පමණයි, සංවර්ධනය වෙමින් පවතින රටකට මෙම අවස්ථාව ලැබී ඇත්තේ. මේ වන විට ලෝකයේ සංවර්ධිත න්‍යාය පත්‍රය මෙහෙයවන්නේ සහශ්‍ර සංවර්ධන දර්ශකය මගිනුයි. වසර 15 ක් සඳහා සකස් කළ සංවර්ධන න්‍යාය පත්‍රයේ අවසාන වසර කීපයයි මේ ගෙවී යන්නේ. මේ වන විට ලෝක ජනගහණයෙන් භාගයක් තරුණයින්. ඒ නිසා මේ කිසිදු න්‍යාය පත්‍රයකට තරුණයා මගහැරිය නොහැකියි. මේ නිසාම සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණයා 
    සම්බන්ධ කර ගැනීම ජාත්‍යන්තර අවශ්‍යතාවයක් වෙනවා".
     
    මේ සදහා රටවල් 150කට ආසන්න ප්‍රමාණයක සහභාගිත්වය මේ වන විට තහවුරු කර තිබෙන බවත් රටවල් 25ක යෞවන කටයුතු  අමාත්‍යවරුන්ද සහභාගි වන බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඉහළ මට්ටමේ නිලධාරීන් රටවල් 32කින් සහභාගිවීමට නිශ්චිතව ඇති බවත් පැවසීය.
     
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති ජෝර්ජ් විලියම් ඈෂ්, මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ තරුණ කටයුතු පිළිබඳ ලේකම් අහමඩ් අල්හන්දාවි යන මහත්වරුන් සමුළුව පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ ලංකාවේ රැඳී සිටින බවත් තරුණයාගේ අනාගතය කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳව සමුළුවේදී එළිදක්වන ලියවිල්ල කොළඹ ප්‍රකාශනය ලෙස හඳුන්වා තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි ලියවිල්ලකට තරුණ නායකයින් හා යෞවන කටයුතු අමාත්‍යවරුන් එකට අත්සන් තබන බවත් පෙර තරුණ සමුළුවලදී මෙම දෙපිරිස විසින් වෙන් වෙන් වශයෙන්  ප්‍රකාශන දෙකක් එළිදක්වා තිබෙන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ඕනෑම රටකට තරුණයින් වෙනුවෙන් වූ ජාතික ප්‍රතිපත්තියක් තිබෙන බවත් ආසියාව තුළ එවැනි ජාතික තරුණ ප්‍රතිපත්තියක් නොතිබුණ එකම රට වූයේ ශ්‍රී ලංකාව බවත් පෙන්වා දුන්නේය. 
     
    "පසුගිය පෙබරවාරි මාසයේ දී එම අඩුව සම්පූර්ණ කළා. අපේ තරුණ ප්‍රතිපත්තයේ මූලික අවධානය යොමුකර තිබෙන්නේ නිපුණතා සංවර්ධනය වෙනුවෙනුයි. රටේ ප්‍රධාන අධ්‍යාපන ධාරාවෙන් පිට සිටින අයට ජීවනෝපාය සකස් කිරීම එහි මූලික අරමුණ වෙනවා. නිපුණතා සංවර්ධනය සිදුකළ යුත්තේ ජාත්‍යන්තර වශයෙන් සම්මත වූ ක්‍රමවේදයකටයි". 
     
    රටේ දරුවන්ගේ අනාගතය යෞවන කටයුතු අමාත්‍යංශය බාරගෙන තිබෙන බවත් ඒ සඳහා යා යුතු නිවැරදි මග තීරණය කිරීම සඳහා දායකවීමට රටේ සියලු දෙනාට වගකීමක් ඇති බවත් එයින් බැහැරවීමට කිසිවෙකුටත් පුළුවන් කමක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති කර්නල් දර්ශන රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya