සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාම යෝජනා පිළිගැනීමෙන් පසු මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    දෙසැම්බර් 08, 2014

    නාම යෝජනා භාර දුන් පක්ෂ 17 සහ ස්වාධීන කණ්ඩායම් දෙකෙහි අපේක්ෂකයන්ට 2015 ජනවාරි 08 වෙනි දින දී මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දෙන බවත් නාම යෝජනා භාර ගැනීම අවසන් බවටත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (08) නිල වශයෙන් නිවේදනය කරන ලදී.

     

    ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන් හා මහ ජනතාව දැනගත යුතු නීතිමය කරුණු කිහිපයක් මැතිවරණ කොමසාරිස්වරයා එහි දී සඳහන් කළේය.

     

    ඒ අනුව කැමති ජනාධිපති අපේක්ෂකයෙකුට තමන් නියෝජනය කරමින් එක් නියෝජිතයෙකු පත් කර ගත හැකි බවත් එම නියෝජිතයාට අපේක්ෂකයා සතු බලතල පැවරෙන අතර එම නියෝජිතයා කරනු ලබන හොඳ හෝ නරක අපේක්ෂකයා නියෝජනය කරන බවත් ඔහු පැවසීය. එසේම නියෝජිතයෙකු පත් නොකර අපේක්ෂකයාටම එම අවස්ථාව තබා ගත හැකි බව ද එහිදී ප්‍රකාශ කෙරිණි.

     

    තවදුරටත් අපේක්ෂකයා වෙනුවෙන් දිවයිනේ මැතිවරණ කොට්ඨාස 22ට එක් බලයලත් නියෝජිතයෙකු බැගින් පත් කර ගැනීමට හැකියාව ඇති අතර ඡන්ද බලප්‍රදේශ (කොට්ඨාස) 160ට ම එලෙස නියෝජිතයන් එක් අයෙකු බැගින් පත් කර ගැනීමට අවස්ථාව ඇත. නමුදු පක්ෂයේ ලේකම්වරයාට එවැනි ව්‍යවස්ථානුකූල බලයක් නැති බව ද මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලි කළේය.

     

    මැතිවරණ කොට්ඨාස 22 සඳහා එක් එක් අපේක්ෂකයාට එක් ඡන්ද කාර්යාලය බැගින් පවත්වාගෙන යාමට අවසර ඇති බවත් ඔහු පැවසීය.

     

    ජනාධිපතිවරණයට නිරීක්ෂණ හා පරීක්ෂණ කටයුතු සඳහා විදේශ පිළිගත් නිරීක්ෂණ කණ්ඩායම් වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය, දකුණු ආසියානු මැතිවරණ කළමනාකරණ සංසදය හා ආසියානු මැතිවරණ සංවිධානයට ඇරයුම් කිරීමට නියමිත අතර තවත් විදේශ නිරීක්ෂණ සංවිධාන ඉල්ලා සිටින්නේ නම් ජනාධිපති අපේක්ෂකයන්ගේ අදහස් හා යෝජනා මත ඒ පිළිබඳ සලකා බලා තීරණ ගන්නා බවත් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

     

    1981 අංක 15 දරණ ජනාධිපති මැතිවරණ පනතේ 117 වැනි වගන්තියේ සඳහන් පරිදි සෑම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුටම රාජ්‍ය මාධ්‍ය ආයතන වන රාජ්‍ය ගුවන් විදුලි සංස්ථාවේ හා රූපවාහිනී සංස්ථාවේ දී සිය අදහස් ප්‍රකාශ කිරීමට එක වරකට මිනිත්තු 15-30 අතර කාලය බැගින් කාලාන්තර 3ක් ලබා දීමට කටයුතු කරනු ලැබේ.

     

    එහිදී කිසිදු අපේක්ෂකයෙකුට හෝ නියෝජිතයෙකුට වෙනත් අපේක්ෂකයෙකුට සහය දක්වන අයුරින් කතා කිරීමට නොහැකි අතර අනෙක් අපේක්ෂකයන් පිළිබඳ වෛරී හා අපහාස අදහස් ප්‍රකාශ කිරීමට ද අවස්ථාව නොලැබේ. එසේ සිදු වුවහොත් එසැණින් කතාව අත්හිටුවන බව ද කොමසාරිස්වරයා අවධාරණය කළේය.

     

    පක්ෂ අපේක්ෂකවරුන්ට සිය පක්ෂයේ සලකුණ මැතිවරණය සඳහා යොදා ගැනීමට අවසර දෙන බවත් ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනාගේ ඉල්ලීම මත  චමින්ද අනුරුද්ධ පොල්ගම්පල මහතාට ‘කණ්නාඩි කුට්ටම‘ සලකුණත් අයි.එම්. ඉල්යාස් මහතාට ‘කොඩි යුගල‘ සලකුණත් මැතිවරණය සඳහා යොදා ගැනීමට අවසර දෙන බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

     

    “ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික  සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.“ යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් උද්ධෘත පාඨය උපුටා දක්වමින් නාමයෝජනා භාර ගැනීම අවසන් බව ප්‍රකාශ කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එහි පැමිණි ජනාධිපති අපේක්ෂකවරුන්ටත් ඔවුන්ගේ ආධාරකරුවන්ටත් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය නියෝජිතයන්ටත් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයටත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් සිය ස්තූතිය පළ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya