අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාවේ වැඩිම රාජ්‍ය සේවකයෝ ඉන්නේ අපේ රටේ Featured

    අප්‍රේල් 25, 2014


    “දකුණු ආසියාවේ වැඩිම රාජ්‍ය සේවකයෝ ඉන්නේ අපේ රටේ. ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි මේ ලක්ෂ 13ක රාජ්‍ය සේවකයින්ගෙන් අපගේ කෝටි 02 ජනතාවට සේවයක් වෙනවද කියලා. කරුණාකරලා තමාගේ හදවතට තට්ටුකරලා ඒ ප්‍රශ්නයට උත්තර දෙන්ඩ”. යැයි රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.



    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශ ප්‍රතිපාදන මඟින් නවීකරණය කරන ලද පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.  


    අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ “මම අද සන්තෝෂ වෙනවා පඬුවස් නුවරට එන්න ලැබුණ එක ගැන. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට අපි පටන්ගෙන තිබෙන ව්‍යාපෘතිය ගැන මම දැඩි අවධානයෙන් සහ දැඩි කැපවීමෙන් ක්‍රියා කරනවා. ඒ වගේම තමා අපගේ අමාත්‍යාංශයෙන් කාර්යාල 63ක් මේ විදියට ප්‍රතිසංස්කරණයට ලක්කෙරෙනවා. මේක මගේ අමාත්‍යාංශයෙන් කෙරෙන විශාල ව්‍යාපෘතියක්. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ දර්ශනය යටතේ අපි බලන්නේ රාජ්‍ය සේවය මීට වඩා හොඳ තැනකට ගේන්න. ඒ දේ කරන්ඩ අපිට නොයෙකුත් අදහස් ආකල්ප තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපගේ අදහස් පමණක් නොවේ. තමුන්නාන්සේලාගේ අදහස් ආකල්ප ලබාගන්න. රාජ්‍ය සේවකයෝ වන අපි මීට වඩා කැපවීමක් කරන්ඩ අවශ්‍යයි.  රාජ්‍ය සේවය වඩා ඉහළට ගේන්න.


     නොයෙක් සමීක්ෂණවලින් හෙළිවෙලා තියෙනවා රජයේ සේවකයෝ දවසකට වැඩ කරන්නේ පැය 04යි 05යි කියලා. එහෙමනම් යම්කිසි තැනක යම්කිසි වැරද්දක් තියෙනවා. මේ අඩුව මේ හිඩැස ජනාධිපතිතුමාට දේශපාලඥයන් වන අපිට පුරවන්ඩ බැහැ. මේක කරන්න පුළුවන් රාජ්‍ය සේවකයන් වන තමුන්නාන්සේලාට පමණයි. නමුත් තමුන්නාන්සේලාගේ කැපවීම ඇත්නම් දවසට වැඩ කරන පැය 04, 05 වැඩි කරනවා නම් පැය 7, 8ක් වැඩ කරනවා නම් අපි මේ කරන සියලු දෙය සාර්ථක වෙනවා.


     මේ ස්ථානයේ මම දකිනවා හොඳ තරුණ පිරිසක්. ඉතින් ඔබලාට තමයි මේ වෙනස කරන්ඩ තියෙන්නේ. අපි මනුෂ්‍යන් වශයෙන් වෙනස්වෙනවානේ. අපගේ දුර්වලතාවන් හදාගන්න වෙනවා. අපිට අපේ රාජ්‍ය සේවය ගොඩක් දුරට ඉදිරියට යන්න පුළුවන්. දේශපාලඥයන් වශයෙන් අපි උපදෙස් දෙනවා. නමුත් රජය සේවය දියුණු කිරීම තමුන්නාන්සේලාගේ වගකීමක්. 

     
    ඒ වගේම තමයි දේශපාලඥයෝ වන අපිට අවුරුදු 5 න් 6 න් පොඩි පරීක්ෂණයක් තියෙනවා. සමත් වෙනවාද නැද්ද කියන එක තියෙන්නේ ජනතාව අතේ. හැබැයි ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්නය නැහැ. රජයේ පත්වීම් ලැබුණ දවසේ ඉඳලා ඔයාලාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැම මාසෙකම ඔයගොල්ලන්ගේ අතට පඩිය ලැබෙනවා. වයස 55 න් පස්සේ පෙන්ෂන් එක ලැබෙනවා.


    දේශපාලඥයන් වන අපිට තියෙන්නේ රැකියා ප්‍රශ්නය විසඳන එකයි. අද තරුණ, තරුණියෝ රජයේ රැකියා ඉල්ලන්නේ පෙන්ෂන් එකට. 55න් පස්සේ ලැබෙන පඩියෙන් 70% පමණ අතට ලැබෙනවා.


    රජයක් හැටියට මේක දරාගන්න පුළුවන්ද? අපිට මොන පක්ෂය ආවත් මෙය දරාගන්න අමාරුයි. රජයක් හැටියට අපි හොයන රුපියලකින් සත 80ක් වියදම් කරන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්න සහ පැන්ෂන් ගෙවන්න. ඉතිරි ශත 20 පමණයි  මේ රටේ ජනතාවගේ සංවර්ධනයට යොදවන්න වෙන්නේ. මම කියන්නේ නෑ මේ මොඩල් එක අද හෙට වෙනස් කරන්න අවශ්‍යයි කියලා. එහෙම කරන්න බෑ.  හැබැයි මේ මොඩල් එක තවත් ඉදිරියට ගෙනියන්න අමාරුයි. මේ සියලු ම බලය එක්කාසු කරගෙන අපි අලුතින් හිතන්න වෙනවා.  අලුත් අදහස් සහ අලුත් සිතුවිලි නොමැතිව රටකට ඉදිරියට යන්න බෑ. මහින්ද චින්තනයේ පැහැදිලිව තියෙනවා රාජ්‍ය සේවකයෝ බලාගන්න කියලා. ජනාධිපතිතුමා දක්ෂ දේශපාලඥයෙන් වශයෙන් සහ දක්ෂ පරිපාලකයෙක් වශයෙන් අපිවගේ තරුණ දේශපාලඥයන්ට නිතර උපදෙස් දෙනවා ජනතාවගෙන් පැන නගින මේ ප්‍රශ්න බලන්න කියලා. ඒ වගේම තමයි අපගේ තරුණ ජවයනුත් තමුන්නාන්සේලා අපි සමඟ එක්කාසු වෙලා වැඩකරන්න ඕනෙ”.


    මෙම අවස්ථාව සඳහා වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර, පළාත්පාලන නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්. බන්දුසේන මහතා ඇතුළු  රාජ්‍ය නිලධාරින් පිරිසක්ද සහභාගී වී සිටියහ. 


    ECB/RU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya