මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලනිපයේ ඉදිරි දේශපාලනික කරුණු සඳහා සියලු ම පක්ෂ සාමාජිකයන්ගේ දායකත්වය ලබා ගන්න

    ඔක්තෝබර් 14, 2014
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලනික කරුණු සඳහා සියලු ම පක්ෂ සාමාජිකයන්ගේ දායකත්වය ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් විශේෂ නියෝජිත හමුවේ දී පැවසූහ. 


    පක්ෂයේ ඉදිරි ගමන සාර්ථක වීමට නම් ප්‍රබල පක්ෂ ක්‍රියාකාරීන්ගේ සිට පහළ ම සාමාජිකයා දක්වා සියලු ම තලයන් මේ සඳහා නියෝජනය කර ගත යුතු යැයි එතුමා කීවේය. 
    ජයරත්න මහතා මේ බව අවධාරණය කළේ මහනුවර පිහිටි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය නිල නිවසේ දී පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් ක්‍රියාකාරී නියෝජිත හමුවේ දීය. 


    මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් හා ක්‍රියාකාරීන් සමඟ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රට සංවර්ධනය කිරීමෙහි ලා ආරම්භ කර ඇති යෝධ සංවර්ධන වැඩපිළිවෙළ තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට නම්, මෙම රජය තවදුරටත් ආරක්ෂා කර ගත යුතු යැයි කී අග්‍රාමාත්‍යතුමා එහිදී මෙසේ ද පැවසීය. හෙළ රජ දවස පැවති සංවර්ධනයට වඩා වැඩි ඉහළ සංවර්ධනයක් මෙම කෙටි කාලසීමාව තුළ දියත් කිරීමට ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. එම අවස්ථාව ලැබුණේ පක්ෂ ක්‍රියාකාරීන් වන ඔබතුමන්ලාගේත්, අප පක්ෂයට මනාපය දුන් ඡන්ද දායකයන්ගේත් පූර්ණ ආශිර්වාදය මතයි.  ඔවුන් කළ එම කැප කිරීම අප මෙන් ම, ජනාධිපතිතුමා ද කිසිසේත් ම අමතක කරන්නේ නැහැ.
     
    රටේ ජනවාර්ගික ප්‍රශ්නය සමබර කරමින් ජාතික සමගිය ශක්තිමත් කිරීමෙහි ලා එතුමා පූර්ණ කැපවීමෙන් යුතුව කටයුතු කළා. එවැනි අවදියක ජනාධිපතිවරණ සමයක් එළැඹී තිබෙනවා. ජනාධිපතිවරණය පවත්වන දිනය මේ දක්වා නිශ්චිත ලෙස ප්‍රකාශ වී නැති නමුත්, අප රජය මෙම ජනාධිපතිවරණයේ දී  60% ඉක්මවා ගිය බලයකින් ජයග්‍රහණය කරන බව මෙහිදී කිව යුතුයි.
     

     ඒ සඳහා දැනටමත් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හා පක්ෂ සංවිධාන කටයුතු ආරම්භ කර තිබෙනවා.  පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන්ගේ සිට පක්ෂයේ සිට ඉවත් වූ සාමාජිකයන් පවා යළි මෙම ක්‍රියාදාමයට සම්බන්ධ කර ගැනීම කෙරෙහි අවධානය යොමු විය යුතුයි.  මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීම අපට අභියෝගයක් නො වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපතිවරණයේ දී නිශ්චිතව ජයග්‍රහණය කර මහින්ද රාජපක්ෂ මැතිතුමා, යළිත් ජනාධිපති ධූරයෙහි ඔසවා තැබීමට අප කටයුතු කරනවා.  පක්ෂය ශක්තිමත් කිරීමෙහි ලා මෙම මස 28 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය මහනුවර නගරයේ දී විවෘත කිරීමට නියමිතය. ඒ යටතේ මහනුවර නගරය තොරණ හා සැරසිලිවලින් අලංකාර කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. 
     
     ඊට සමගාමී ව ආසන හා වසම් මට්ටමින් පක්ෂයේ ප්‍රතිසංවිධාන හා පක්ෂය ශක්තිමත් කිරීමේ කටයුතු ආරම්භ කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇති අතර, එහි මූලික කටයුතු මේ වන විටත් දියත් කොට තිබෙනවා. මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 19 වන දින මුල්ගල තබා ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.  මහනුවර ජනතාව වසර ගණනාවක් තිස්සේ බලා සිටි අපේක්ෂාවක් මල්ඵල ගැන්වෙන එම දිනය ගලගෙදර දී ආරම්භ කර එහි කටයුතු ශීඝ්‍රයෙන් සිදු කිරීමට ද අප රජය කටයුතු යොදා ඇත.  විපක්ෂය කුමන චෝදනා එල්ල කළ ද, ජනාධිපතිතුමා දියත් කර තිබෙන සංවර්ධන වැඩපිළිවෙළ කිසිදු අයුරකින් අඩාල කළ නොහැකි යැයි පැවසූ  අගමැතිතුමා, මෙවර ජනාධිපතිවරණය, එම සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි සු‍විශේෂී අවස්ථාවක් වන බවද කීවේය. 


    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්  මධ්‍යම පළාතේ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගී වී සිටිය හ. 
     
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya