අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයෙන් හැම ගොවියෙකුටම ප්‍රතිලාභ

    අප්‍රේල් 12, 2014
    සෑම ගොවියෙකුටම ප‍්‍රතිලාභ හිමිවන ආකාරයෙන් මෙවර ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
     
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2014 ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය පැවැත්වීම සම්බන්ධයෙන් පසුගියදා පැවති පූර්ව සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
     
    මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන වල්ලපට්ටා ශාකය ආරක්ෂා කර ගැනීමට නම් එය කෘෂි වන වගාවක් ලෙස දියුණු කිරීමට පියවර යුතු යැයි ද නිකරුණේ වල්ලපට්ටා ශාකය විනාශ කිරීමට මිනිසුන් පෙළඹී ඇත්තේ ඒ පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති නිසා බවත්, එම තත්ත්වය වැළැක්වීමට වල්ලපට්ටා ශාකයේ වැදගත්කම පිළිබඳ අවබෝධය ජනතාව වෙත ගෙනයාම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    මෙහිදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ, ගොවි සතිය සඳහා දිස්ත‍්‍රික්කයේ සෑම ගොවි සංවිධානයක් ම සම්බන්ධ කරගැනීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාව වන බවයි. සෑම ගොවියෙකුට ම ගොවි සතිය තුළින් කුමන හෝ ප‍්‍රතිලාභයක් ලබාගැනීමට අවස්ථාව සැලසිය යුතුය. තෙත් කලාපයේ වී ගෙවිතැන් කරන ගොවීන්ට ලාභ ලැබිය හැකි ගොවිතැනක් පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දීම වැදගත්ය. කෘෂිකර්මාන්තයට නව උපක‍්‍රම හඳුන්වා දුන්න ද ඒ පිළිබඳ ගොවීන් තුළ පවතින අනවබෝධය නිසා ඒවා භාවිත කිරීමට ගොවීන් උනන්දුවන්නේ නැත. එම අනවබෝධය දුරු කිරීමට අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම ගොවි සතියට සමගාමීව සිදුකිරීමට නියමිතය. 
     
    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සමඟ එක්ව ගොවීන්ට අවශ්‍ය පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර තිබේ. 2014 ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය සාම්ප‍්‍රදායික ප‍්‍රදර්ශනයක් වීමට ඉඩ නොදී සත්‍ය වශයෙන්ම මෙම අවස්ථාව කෘෂිකර්මාන්තයේ ප‍්‍රගමනය උදෙසා යොදාගැනීම වැදගත්ය.
     
    කෘෂිකර්මාන්තය යනු වී ගොවිතැන පමණක් නොවේ, කුමන බෝගයක් වගා කළ ද ඒ සියල්ල කෘෂිකර්මාන්තයට අදාළ වේ. මාතර දිස්ත‍්‍රික්කය තුළ කුරුඳු, ගම්මිරිස් වැනි සුළු අපනයන බෝග සාර්ථකව වගාකරයි. අප තවම ගම්මිරිස් පොත්ත පිටින් වියලා කළු ගම්මිරිස් පමණක් නිෂ්පාදනය කළත්, ඊට වඩා ලාභයක් ඉපයිය හැක්කේ සුදු ගම්මිරිස් නිෂ්පාදනය තුළිනි. ගොවීන්ට සැබෑ ලෙසම ලාභ ඉපයිය හැකි අවස්ථාවන් හඳුන්වා දී කෘෂි ක්ෂේත‍්‍රය තුළ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉලක්කයයි. අපගේ අරමුණ වන්නේ ගොවි සතිය සාර්ථක කර ගැනීමට සෑම ගොවියෙකුගේම දායකත්වය කුමන හෝ මට්ටමකින් ලබාගැනීමයි. 
     
    මෙවර ගොවි සතිය තුළ වස විස නැති ආහාර පිළිබඳව මෙන්ම රසායනික පොහොර භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි. තවමත් ගොවීන් අතර පවතින වැඩි අස්වැන්නක් වෙනුවෙන් රසායනික පොහොර වැඩි වශයෙන් පසට එක් කළ යුතුය යන අදහස දුරු කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාවට නැංවීම කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයට සමඟාමීව සිදු කිරීමට නියමිතය. වස විස නැති ස්වභාවික දේශීය ආහාර ප‍්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ද විශේෂ වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබේ.
     
    දිස්ත‍්‍රික්කයේ තරුණ දායකත්වය ද ලබාගෙන 2014 ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය සෑම ගොවියෙකුටම ප‍්‍රතිලාභ හිමිවන, දේශීය කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධියට හේතුවන ඵලදායී ව්‍යාපෘතියක් වනු ඇතැයි  කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    ECB 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya