අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැදගත් වන්නේ පාසලක් මනා කළමනාකාරීත්වයෙන් පවත්වාගෙන යාමයි

    අප්‍රේල් 09, 2014

    පාසලකට ප‍්‍රශංසා ලැබිය යුතු කාල මෙන්ම දොස් නැගිය යුතු කාල ඕනෑ තරම් දක්නට ලැබෙන බවත් විශේෂ අවශ්‍යතාව වන්නේ පාසල හොඳ කළමනාකාරීත්වයෙන් පවත්වාගෙන යාම බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.


    පාසලේ ඉගෙන ගන්නා දරුවන් මෙන්ම ඒ පාසලේ ගුරු දෙගුරුන් පමණක් නොව පාසලට අයත් වපසරියේ සිටින සියලුදෙනා මනා කළමනාකාරීත්වයෙන් යුතුව පාසල පවත්වාගෙන යාමට කැමති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පන්නල ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

    පාසලට අයත් වපසරියේ ජීවත් වන ජනතාවගේ මෙන්ම උපදින්නට ඉන්නා දරුවන්ගේ නැණැස පෑදීමට තිබෙන ආයතනය පාසල නිසා සෑමදෙනාම පාසල සම්බන්ධයෙන් සිදු කරන සුළු හෝ ප‍්‍රතිසංස්කරණයකදී වෙනස් කිරීමක දී ප‍්‍රතිපත්තිමය තීරණයක දී වඩාත් සංවේදී බවත් පාසල මහජන ජීවිතයට බද්ද වී ඇති තරමටම එහි සංවර්ධනය පිළිබඳවත් සිතිය යුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    විදුහල්පතිවරුන්, දෙමව්පියන් හා ආදි සිසුන්, සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලදී වගකීමෙන් කටයුතු කළ යුතු බවත් නැවියා නැව දියත් කරන ආකාරයෙන් විදුහල්පති පාසල නමැති නැව නියම මාර්ගය ඔස්සේ නැව්තොට වෙත රැගෙන යා යුතු බවත් අමාත්‍යවරයා පැවසු අතර එසේ නොවන්නේ නම් ගුරුවරයාට මෙන්ම ළමයාට ද සෙතක් නොවන බවත් නායකත්වය දුර්වල නම් මනාදෘෂ්ටියක් නැතිනම් අනාගතය පිළිබඳව විශ්වාසයක් නැති නම් පාසල සංවර්ධනය කළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

    අතීතයේ පාසල් අධ්‍යාපනය තුළ ගුරුවයාගේ මනා පෞරුෂයත් ඔවුන් ශිෂ්‍යයන් කෙරෙහි දැක්වූ අසීමිත දයාවත් සලකා බලන විට ගුරුවරයා සිසු දරුවන්ගේ මනෝ ලෝකයේ වීරයා වී සිටි බව පැවසීය. දේශපාලනඥයන්ට පාසල තුළ විශේෂිත පුද්ගලයන් සිටිය යුතු නැහැ. පාසලේ විදුහල්පති, ගුරු මණ්ඩලය මෙන්ම සිසු දරුවන් ද එක හා සමානයි. දේශපාලඥයන් වශයෙන් අප පාසල දෙස බැලිය යුත්තේ දරුවන්ගේ කෝණයෙන් දරුවන්ට උවමනා කරන වෘත්තිමය දැනුම ගොඩ නගන්නයි. ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ඉතාමත් සුළු පිරිසකට පමණක් උසස් අධ්‍යාපනය ලබාදීමට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට හැකි වෙලා තිබෙන බවත් මේ නිසා විකල්ප අධ්‍යාපන ආයතන හෝ විශ්වවිද්‍යාල නිර්මාණය කළ යුතුයි. එය විවාදාත්මක කරුණක් වුවත් රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශයත් මේ අධ්‍යාපන අංශයට සම්බන්ධ විය යුතුයි. දරුවන්ට තමන් කැමති පාසලකින් තමන්ගේ ශක්ති ප‍්‍රමාණය අනුව අවශ්‍ය දැනුම වර්ධනය කර ගැනීමට පහසුකම් සැපයීම රාජ්‍ය අංශයට පමණක් කළ නොහැකි බවත් ලොව කිසිම රටක රාජ්‍ය අංශය පමණක් අධ්‍යාපනය පවත්වාගෙන නොයන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    අද අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අවශ්‍ය මානව ප‍්‍රාග්ධනය ආයෝජනය සඳහා රජය කටයුතු කර තිබෙන බවත් වර්තමානයේ පාසල් ගුරුවරුන්ගෙන් බොහෝ පිරිසක් උපාධිධාරී ගුරුවරුන් බවත් ඊට අමතරව පශ්චාත් උපාධි හෝ අධ්‍යාපනවේදය පිළිබඳ ඩිප්ලෝමාධාරීන් හෝ පශ්චාත් ඩිප්ලෝමාධාරීන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම මේ දරුවන් අද තාක්ෂණික ලෝකයේ ඉපදී තාක්ෂණික දැනුම උප්පත්තියෙන්ම උකහාගත් පිරිසක් නිසා දෙමව්පියන් තමන්ගේ දරුවාගේ අධ්‍යාපනය පිළිබඳව ඕනෑවටත් වඩා වෙහෙසෙන කෙනෙක් ඒ නිසාත් සෑම විටම උසස් ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකි වී ඇති බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

    මේ අවස්ථාවට විදුහල්පති බී.එම්.එස්.යූ.බී. බන්නැහැක මහතා ඇතුළු ගුරුමණ්ඩලය සහ ප‍්‍රදේශවාසීහු මේ අවස්ථාවට සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya