අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණය පාලනය කළ නොහැකිවීමෙන් මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් Featured

    අප්‍රේල් 08, 2014

    ජාන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය ආදී අධි තාක්ෂණික ක්ෂේත්‍රයන්හි නව සොයාගැනීම් සහ ඒවායේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය මිනිසාට පාලනය කිරීමට නොහැකිවීමෙන් සහ ඒ ආශ්‍රයෙන් අනපේක්ෂිත ප්‍රතිඵල උදාවීමෙන් සමස්ත මානව වර්ගයාටම විශාල තර්ජනයක් එල්ල වෙමින් පවතින බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


    ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතාගේ 06 වන ගුණ සමරුව ඊයේ (07) සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අන්තර්ජාතික අධ්‍යයනයන් පිළිබඳ මධ්‍යස්ථානයේදී පැවැත්විණ. එම අවස්ථාවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අමාත්‍යවරයා සිය දේශනයේදී මේ බව අවධාරණය කළේය.

    මෑතකදී ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සිදු කළ පරීක්ෂණයක නිරීක්ෂණ ප්‍රතිඵලය වූයේ, තාක්ෂණික ප්‍රතිඵලයක් පාලනය කිරීමට මෙන්ම අප තුළ පවතින පාලන හැකියාව ද අභිබවමින් තාක්ෂණය ගමන්කර ඇති බවයි. මෙය මනුෂ්‍යයන් මෙලොවින් තුරන්කිරීමට බලපාන්නක් ද යන්න පිළිබඳව අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

    සර් ආතර් සී. ක්ලාක් මීට වසර 60 කට පෙර අනාවැකියක් පළ කරමින් පෙන්වා දුන්නේ දශක පහක පමණ කාලයක් තුළදී දුරස්ථ ශෛල්‍යකර්ම සිදුකරන බවයි. එමෙන්ම ගෝලීය ව්‍යාපාර සහ පෞද්ගලික සන්නිවේදන ක්‍රමෝපායන්ද ලෝකයේ සීග්‍ර ලෙස වර්ධනය වන බවයි. අද එතුමන්ගේ ප්‍රකාශය සත්‍ය වී ඇත. අද ලොව ප්‍රධාන ව්‍යාපාරයන් අතරට අවකාශයේ පවතින අතාත්වික ව්‍යාපාර සංවිධාන (Virtual Organization) සහ ක්ලවුඩ් පරිගණක (Cloud Computing) ඇතුළත් වී ඇත. ඉතා උසස් තත්ත්වයේ භාවිතයන් මෙන්ම ඉතා විශාල මට්ටමේ ආයෝජනයන් බොහෝමයක් ද මනුෂ්‍ය සංහතියේ ප්‍රගමනයට සහ පරිසරය රැකගැනීමට නොව, එයට හාත්පසින්ම විරුද්ධ දිශාවට යොමුවී තිබීම කනගාටුවට හේතුවක් බවද අමාත්‍ය චම්පික මෙහිදී පෙන්වා දුන්නේය.


    අද වන විට විද්‍යුත් රණකාමීත්වයක් පැතිරෙමින් තිබේ. වෙනත් රටවල්හි රහස්‍ය තොරතුරු නීතිවිරෝධී සහ සදාචාර සම්පන්න නොවන අයුරින් එක්රැස් කිරීම මේ ආශ්‍රයෙන් සිදු කෙරේ. මෑතකදී සිදු වූ මැලේසියානු ගුවන් යානයේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ කටයුවලදී සිදුවූවා යැයි කියන, එහෙත් නවීන සන්නිවේදන ක්‍රම සහ පෘථීවි නිරීක්ෂණ චන්ද්‍රිකා පද්ධතීන්හි හැකියාවන් පිළිබඳ දන්නා විශේෂඥයන් මවිතයට පත් කරන්නා වූ තාක්ෂණික දුර්වලතාවන් සිදු වී ඇත්තේ මෙවන් පසුබිමකදී වීමද ලෝක තාක්ෂණයට අභියෝගයක් බවද චම්පික රණවක මහතා සඳහන් කරයි.

    චීන මහාචාර්ය හුයි ලින් සිය ප්‍රධාන ගුණසමරු දෙසුමේදී අවධාරණය කර සිටියේ, ආතර් සී ක්ලාක් මහතා ලොවට අනාවරණය කළ අධි තාක්ෂණික චන්ද්‍රිකා භාවිතය සහ භූ තොරතුරු තාක්ෂණය අද වන විට ලෝක තාක්ෂණික පෙරළියේ ප්‍රධාන කොටස්කරුවන් බවයි. GIS තාක්ෂණය අද වන විට රටක කාලගුණ අනාවැකි, ආර්ථීක අනාවැකි, කෘෂිකර්ම අනාවැකි, සංවර්ධන අනාවැකි උපරිම නිරවද්‍යතාවයකින් ලබාගත හැකි එකම තාක්ෂණය බවට පත්ව තිබීම සුවිශේෂී බවද එතුමා අනාවරණය කළේය. එය මේ වන විට ලෝකයේ සංවර්ධනය මැන බලන දර්ශකයක් බවටද පත්ව තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya