නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගය මැඬලීමට රජය උපරිමයෙන් කැප වී සිටිනවා Featured

    අප්‍රේල් 08, 2014

    රජරට ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙන කාලික වකුගඩු අකරණ රෝගී තත්ත්වය මැඬපැවැත්වීමට වත්මන් රජය උපරිමයෙන් කැප වී කටයුතු කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය  තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.


    මෙම රෝගයට ගොදුරු වී සිටින රෝගීන් සඳහා අවශ්‍ය සියලු ම ඖෂධ හිඟයකින් තොරව ලබාදීමටත්, නිරෝගී පුද්ගලයින් මෙම රෝගයෙන් ආරක්ෂා කරගැනීමටත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

     

    ආහාර පිසීමේ දී නිසි ප්‍රමිතියෙන් තොර ඇළුමිනියම් භාජන භාවිතය ද මෙම රෝගය වැළඳීමට එක් හේතුවක් වන බැවින්, ඒ සඳහා මැටි වළං භාවිතයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සඳහා අනුරාධපුර, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, දීප්තිගම ජනතාවට නොමිලේ මැටි වළං බෙදාදීම වෙනුවෙන් පසුගියදා එම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.මීට දශකයකට පමණ පෙර විශේෂ රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගත් මෙම වකුගඩු රෝගයට උතුරු මැද පළාතෙන් පමණක් මේ වනවිට පුද්ගලයන් දාහත්දහසක් පමණ ගොදුරු වී ඇති බව මෙහි දී අනාවරණය විය.

     

    කෙසේ වුව ද පිරිසිදු පානීය ජලය භාවිතයේ වැදගත්කම මෙන්ම ඒ සඳහා අවශ්‍ය ජලය ලබාදීම, නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ද මෙම මැටි වළං බෙදාදීමේ වැඩසටහනට සමගාමීව සිදු කෙරේ.


    විශේෂයෙන් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් පාරම්පරික කුඹල් කර්මාන්තයේ යෙදී සිටින කාන්තාවන් සඳහා අවශ්‍ය උපකරණ මෙන්ම උපදෙස් හා මඟපෙන්වීම ද ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන යටතේ ලබාදෙයි.

     

    මැටි වළං භාවිතයේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කරමින් මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් දෙලක්ෂයකට පමණ නොමිලේ මැටි වළං බෙදා දී ඇත.කාන්තා හිංසනය හා ළමා අපයෝජනය වළක්වා ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමුකරමින් කාන්තාවන් ඇතුළු වැඩිහිටියන් දැනුවත් කිරීම ද මෙම මැටි වළං බෙදාදීමේ වැඩසටහනට සමගාමීව සිදුකරනු ලබයි.

     

    ඒ අනුව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර ඇති උපදේශන නිලධාරීන් විසින් මෙම දැනුවත් කිරීම සිදුකරනු ලබයි.


    මේ අයුරින් ජනතාවට නොමිලේ මැටි වළං කට්ටලයක් ලබාදීම හුදු ආධාර මල්ලක් ලබාදීමක් නො ව මාරාන්තික රෝගයක් පිළිබඳ ජනතාවට නිසි අවබෝධයක් ලබාදීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ ජාතික වගකීමක් ඉටුකිරීමක් බව ද අනුරාධපුර, දිප්තිගම මැටි වළං බෙදාදීමට එක්වෙමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා තවදුරටත් පැවසීය.

     

    වකුගඩු රෝගීන් බහුලව සිටින මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව හා රඹෑව වැනි ප්‍රදේශවල පාසල් දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම උදෙසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ විශේෂ උපදෙස් මත මේ වන විටත් අදාළ පාසල්වල උසස් ප්‍රමිතියෙන් යුතු ජල පෙරණ සවිකර ඇති බව විපක්ෂය කුමන පදනම් විරහිත චෝදනා එල්ල කළ ද රජය වකුගඩු රෝගය මැඩපැවැත්වීම උදෙසා කළ යුතු සෑම දෙයක්ම ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

     

    දරුවන් ළමා අපයෝජන හා අපචාරවලින් වළක්වා ගැනීම හා කාන්තා හිංසන ඇතුළු පවුල් ආරවුල් වළක්වා ගැනීම පිළිබඳ විශේෂ දේශනයක් මෙහිදී මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  උපදේශන නිලධාරිනී අනූෂා චන්ද්‍රානි දේවප්‍රිය මහත්මිය විසින් පවත්වනු ලැබුවාය.මෙහි දී දීප්තගම ප්‍රදේශයේ පවුල් 411කට නොමිලේ මැටි වළං බෙදාදීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya