මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදු දහමේ උන්නතිය උදෙසා රජය ක්‍රියා නොකරන බවට වැරදි මතයක් නිර්මාණය කරමින් තිබෙනවා Featured

    අගෝස්තු 21, 2014
    බුදු දහමේ උන්නතිය උදෙසා වත්මන් රජය ක්‍රියා නොකරන බව පවසමින් රජය හා ජනතාව අතර නිවැරදි නොවන මතයක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි. 

     ජනතාව සහ රජය අතර අර්බුදයක් නිර්මාණය කිරීමට කටයුතු කරන ඇතැම් පිරිස් ඒ සඳහා බුදු දහම අවියක් වශයෙන් යොදා ගෙන ඇතැයි ද අග්‍රාමාත්‍යතුමා ‍කීවේය.

     එබැවින් රජය සහ ජනතාව අතර විවිධ අර්බුද නිර්මාණය කිරීමට කටයුතු කරන කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියාවන්ට හසු නොවිය යුතු යැයි මහව, ඉපලෝගම, ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ රුපියල් මිලියන එකොළහක වියදමින් ඉදිකරන ලද සදහම් මැදුර  විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් එහි පැවති උත්සව සභාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය.
     
     එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න  මැතිතුමා, “බුදු දහමේ උන්නතිය උදෙසා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් විශාල මුදලක් වැය කොට සංවර්ධන කටයුතු සිදු කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා.
     
    ඒ යටතේ විහාරස්ථාන නවදාස් හාරසීයකට අධික ප්‍රමාණයක් පවතිනුයේ  අප රජයේ අධීක්ෂණය යටතේයි.  භාරත දේශයේ බුදුරජාණන් වහන්සේ උපත ලැබූ ස්ථානයෙහි ශ්‍රී ලාංකික සංචාරකයින්ට නවාතැන් ගැනීම සඳහා රුපියල් මිලියන අසූ නවයක වියදමින් විශ්‍රාම ශාලාවක් ඉදිකරමින් පවතිනවා. එම සංවර්ධන කටයුතු ඇතුළුව මෙරට මෙන්ම, විදෙස් රටවල විහාරස්ථාන සංවර්ධනය සඳහා ද අප රජය මගින් වැඩසටහන් රැසක් දියත් කොට තිබෙනවා. 
     

    මෙරට විහාරස්ථානවලට අයත් ඉඩම් අක්කර එක්ලක්ෂ හැටහත්දහසක් පමණ තිබෙනවා. වර්ෂ 1931 විහාර දේවාලගම් ඉඩම් පනත සහ වර්ෂ 2000 එහි සංශෝධනය මගින් විහාරස්ථානවලට අයත් ඉඩම්වල අයිතිය දැඩි සේ සුරක්ෂිත කිරීමට අප රජය කටයුතු කර තිබෙනවා. එමගින් එක් ඉඩම් අඟලකවත් අහිමි වීමක් විහාරස්ථානයට සිදු කෙරෙන්නේ නැහැ. 

     සැබෑ බෞද්ධයෙක් වශයෙන් රටට නිසි නායකත්වය දෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බුදු දහමේ උන්නතිය උදෙසා සුවිශාල කාර්ය භාරයක් ඉටු කරනවා. එතුමාගේ නායකත්වය මත බුදු දහම මෙන්ම, සෙසු ආගම් ද සුරක්ෂිත වී පවතින අතර, දකුණු ආසියාවේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන රටක් බවට ශ්‍රී ලංකාව ගෙන ඒම සඳහා එතුමාගේ නායකත්වය නිරතුරුවම ලැබෙනවා” යැයි ජයරත්න මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.


    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අදහස් දක්වමින්, “විහාර දේවාලගම් නින්දගම් පනත අතිශය ප්‍රබලයි.  විහාරස්ථානවල සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී එම විහාරස්ථානය හෝ ඉඩම රජයට පවරා ගතයුතු නැහැ. විහාරස්ථානයට අභිමත පරිදි රජයේ සහයෝගය මත එහි සංවර්ධන කටයුතු සිදු කළ හැකියි.  හෙළ රජ දවස රජවරු, රදළයන් විසින් විහාරස්ථානයට පූජා කරන ලද ඉඩම් කිසිසේත්ම රජය අත්පත් කර ගන්නේ නැහැ.  පාර්ලිමේන්තුවට පවා එය අත්පත් කර ගැනීමක් කළ නොහැකියි.  නමුත් විහාරස්ථානවලට අයත් ඉඩම් රජයට පවරා ගන්නවා යැයි පවසමින් කරන කට කතා රජය සහ ජනතාව අතර බැඳීම බිඳ දැමීමට කරන කුමන්ත්‍රණයක්. 

    මධ්‍යම සංස්කෘතික අරමුදල, මහා භාරකාර අරමුදල ඇතුළුව අරමුදල් ගණනාවක පසුගිය මාස 08ක කාලය තුළ රුපියල් කෝටි දෙදහසක මුදලක් විහාරස්ථාන සංවර්ධනය උදෙසා යොදවා තිබෙනවා.  මහා සංඝරත්නයේ ශක්තිය, කැපවීම සහ උනන්දුව මතයි මෙම විහාරස්ථාන සියල්ල මේ දක්වා සංවර්ධනය කිරීමට හැකි වුණේ” යැයි අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

     කුරුණෑගල දිසාවේ සංඝනායක, ඓතිහාසික පයාගල රජමහා විහාරාධිපති, පූජ්‍ය පාතගම සෝමානන්ද හිමි, යාපහුව රජමහා විහාරාධිපති පූජ්‍ය මීගම්මන සිරිරතන හිමි, ඉපලෝගම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථ විහාරාධිපති, ශාස්ත්‍රපති ඉපලෝගම රතනසාර හිමි ප්‍රධාන මහා සංඝරත්නය ද, වයඹ පළාත් ආණ්ඩුකාර නීතිඥ තිස්ස ආර්. බලල්ල, වයඹ පළාත් අමාත්‍ය ඩී.බී. හේරත්, මහව ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ මැදගෙදර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya