නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය නිවේදනය - යහපාලනයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොවිඩ් -19 වසංගතයෙන් පසු ලංකාව

    මැයි 25, 2020

    මාධ්‍ය නිවේදනය

    යහපාලනයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොවිඩ් -19 වසංගතයෙන් පසු ලංකාව

     

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් විය. 2006-2009 යුද සමයේ වසරකට 6% ක් වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යුද්ධයෙන් පසු 2010-2014 කාල පරිච්ඡේදයේ 7.4% දක්වා වැඩිවිය. 2005 දී දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 90%ක් වූ සමස්ථ ණයබර 2014 අවසන් වන විට 75% ක් දක්වා අඩුවී තිබිණි. කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 2005 දී 1,922 ක් වූ අතර, 2014 අවසන් වන විට එය 7,299 ක් දක්වා වැඩිවී තිබුණි. 2005 දී ඇමෙරිකානු ඩොලර් 1,242 ක් වූ ඒකපුද්ගල ආදායම 2014 අවසන් වන විට ඩොලර් 3,819 දක්වා තුන්ගුණයකින් වැඩිවී තිබුණි. නිදහස ලැබීමෙන් පසු ලංකාවේ විශාලම යටිතල පහසුකම් ඉදිකිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වූයේද 2006-2014 කාලපරිච්ඡේදය තුළදීය. මේ සියලුම ආර්ථික ජයග්‍රහණ අපි ලබා ගත්තේ 2007 ලෝක ආහාර අර්බුදයත්, 2008 - 2009 ගෝලීය මූල්‍ය අර්බුදයත්, ලෝක ඉතිහාසයේ ඉහළම තෙල් මිලත් මධ්‍යයේය. 2006-2009 කාලපරිච්ඡයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 74 ක් වූ අතර 2010-2014 කාලපරිච්ඡයේදී එය ඩොලර් 103 ක් විය. 

    2015 ජනවාරියේ සිට මේ සියල්ල කණපිට හැරුනේය. 2015 වසරේදී ආර්ථික වර්ධන වේගය 5%ක් දක්වා පහත වැටී ඉන්පසු සෑම වසරක් පාසාම ක්‍රමානුකූලව  අඩුවී 2019 වන විට 2.3% ක් විය. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක වටිනාකම 2014 දී  රුපියල් 130ක් වූ අතර, එය 2019 ඔක්තෝබර් වන විට රුපියල් 181 දක්වා වැඩිවී තිබුණි. රටේ සමස්ථ ණය බර 2014 අවසානයේ  රුපියල් ට්‍රිලියන 7.39 සිට 2019 ඔක්තෝබර් මාසය වනවිට රුපියල් ට්‍රිලියන 12.89 ක් දක්වා 74.4% කින් වැඩිවී තිබුණි. 2015 ජනවාරියේ සිට 2019 ඔක්තෝබර් දක්වා යහපාලන ආණ්ඩුව සවරින් බොන්ඩ්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සින්ඩිකේටඩ් ලෝන්, කරන්සි ස්වොප් වැනි නොයෙක් මූලාශ්‍ර වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 26 ක විදේශ විනිමය ණය  ලබා ගෙන තිබුණි. මේ ආකාරයට ණය ගත්තද යහපාලන ආණ්ඩුව කිසිදු කල් පවතින, ආදායම් ලබන වත්කමක් නිර්මාණය කළේ නැත. 2014 අවසානයේ 7,299 ක් වූ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 2019 ඔක්තෝබර් මාසය වන විට 5,990 දක්වා අඩු විය. මෙවන් ආර්ථික බිඳවැටීමක් සිදුවූය්  2015 සිට 2019 දක්වා මුළු කාලපරිච්ඡේදය තුළම බොරතෙල් බැරලයක සාමාන්‍ය  මිල ඇමෙරිකානු ඩොලර් 60 ක තරම් මැත ඉතිහාසයේ පහතම අගයක පැවතියදීය.

    යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ මේ දරුණු ආර්ථික බිඳවැටීමට කිසිදු බාහිර හේතුවක් නොවීය. 2015 හා 2019 අතර ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් වේගයෙන් වර්ධනය විය. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ලංකාවේ ආර්ථික බිඳවැටීම තවත් උත්සන්න විය. 2019 නොවැම්බර් 16 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ සහමුලින්ම විනාශ වූ ආර්ථිකයකි. කොවිඩ් - 19 වසංගතය විසින් මුළු ලෝකයම ගිල ගනු ලැබුවේ එවන් තත්ත්වයක් යටතේය.  කොවිඩ් - 19 වසංගතයෙන් පසු 1930 ගණන්වල ඇති වූ මහා අවපාතයට සමාන ලෝක ආර්ථික අවපාතයක් ඇති වනු ඇති බවට පුරෝකථනය වී ඇත. එවන් තත්ත්වයක් යටතේ සියලුම රටවල් ආර්ථික දුෂ්කරතා හා මහා පරිමාණ විරැකියාවට පාත්‍ර වෙන නිසා ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යය සොයා විදේශගත වීමට ඇති අවස්ථාවන්ද සීමා වනු ඇත. කොවිඩ්-19 නිසා සියලුම ශ්‍රී ලාංකිකයින්ට අද ඉතිරි වී ඇත්තේ එක විකල්පයක් පමණි - ඒ ශ්‍රී ලංකාව ගොඩනැඟීමයි. මේ සිදුවී ඇති විපතෙන් ගොඩ ඒමට අපි එකාවන්ව කටයුතු කළේ නැතිනම් රටේ අනාගතය අතිශයින්ම අඳුරු වෙනු ඇත. 

    මෑතකදී, රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියා වන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, තමන්ගේ වැටුපෙන් හැකි ප්‍රමාණයක් පරිත්‍යාග කරන මෙන් රජයේ සේවකයන්ගෙන්  ඉල්ලීමක් කළ විට, විපක්ෂය ඔහුව නිර්දය ලෙස විවේචනය කළේය. මෙහිදී සිදුවූයේ හුදෙක්ම ස්වේච්ඡා පරිත්‍යාගයක් සඳහා ඉල්ලීමක් බව දැන දැනත්, එය අනිවාර්ය වැටුප් කපාහැරීමක් හැටියට ඔවුන් හුවා දැක්වුයේය. ආචාර්ය ජයසුන්දර යනු 2006-2014 කාලයේ මේ රටේ ඇති වූ ආර්ථික පිබිඳීමට දායක වූ ප්‍රධානම රාජ්‍ය නිලධාරියෙකි. එවැනි දක්ෂ නිලධාරීන් තනිකොට පහරදී, ආණ්ඩුවේ ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙල අඩාල කිරීම විපක්ෂයේ අරමුණ බව පැහැදිලිය.

    මඩගැසීම හා බොරු ප්‍රචාර මත පදනම් වූ මේ යහපාලන දේශපාලන සංස්කෘතියට පශ්චාත් කොවිඩ්-19 ලෝකය තුළ කිසිදු තැනක් නැති බව අපි වටහා ගත යුතුය. ඉදිරියට එන අසීරු ගෝලීය තත්වයන් යටතේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා අපගේ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ දෘෂ්ටිය හා හැකියාව මතය. ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මැතිනිය මෑතකදී පවසා සිටියේ ජර්මානු ආර්ථිකය ශක්තිමත්ව තිබුණ අවස්ථාවක කොවිඩ්-19 වසංගතය පැමිණි නිසා ඔවුන්ට එයට මුහුණ දීමට හැකියාව තිබුණු බවයි. නමුත් ලංකාවට මේ වසංගතයට මුහුණ දීමට සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයක් යටතේය.

    මේ නිසා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම මෙම කාරණා ගැන හොඳින් කල්පනා කර බලා, රටට වඩාත්ම හිතකර තෝරා ගැනීම සිදු කළ යුතුය. කොවිඩ්-19 වසංගතය ලංකාවට එන විට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම්, මේ රටට යන කලදසාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. වර්තමානයේ මේ රට පාලනය කරන ජනාධිපතිතුමාගේ සිට පහළට සියලුදෙනා, ජයග්‍රහනය කිරීමට නොහැකි යැයි කියූ යුද්ධයක් දිනූ, 2006 - 2014 අතර දැවැන්ත අභියෝග මධ්‍යයේ වුවත් මේ රටේ නිදහසින් පසු විශාලම ආර්ථික පිබිදීම ඇති කළ කණ්ඩායමකි. කොවිඩ්-19 වසංගතයෙන් පසු ලෝකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය වන්නේ එවන් නායකත්වයකි. 

     

    මහින්ද රාජපක්‍ෂ

    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya