අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ග්‍රාම නිලධාරින් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා''- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ Featured

    පෙබරවාරි 22, 2020

    ග්‍රාම නිලධාරින් වෙනුවෙන් ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා දැනට අවශ්‍යව ඇත්තේ කැබිනට් අනුමැතිය ලබා ගැනීම පමණක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    ඒ මහතා මෙසේ පැවසූයේ ඊයේ ( 21) දින මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ දී පැවැති ග්‍රාමනිලධාරින්ගේ ජාතික සම්මේලනයට එක් වෙමිනි.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
    ''අතීතයේ තිබුණ දුරයා කියන තනතුරේ ඉඳලා එක එක පළාත්වලට එක එක නම්වලින් මේ තනතුර හඳුන්වලා පස්සේ ඒ සියල්ලම 1943 අංක 11 දරන ආඥා පනත යටතේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් එඅහෝසි කළා. අහෝසි කරලා එක තනතුරු නාමයක් ඔවුන්ට ලබා දුන්නා. 'මුලාදෑනි' කියන නාමය ලැබුණේ එහෙම. එතනදි ගමේ ගෙයක් තියෙනවා ද කියන එක තමයි පළමුවැනි සුදුසුකම ලෙස සැළකුවේ. ඒ මුලාදෑනි තනතුරට ඉහළින් දකුණ සහ බස්නාහිර ප්‍රදේශවලට - මුදලි, නැගෙනහිර ප්‍රදේශයට - වන්නියා, උඩරට ප්‍රදේශයට - රටේ මහත්තයා, මන්නාරම් ප්‍රදේශයට - දිස්ත්‍රික් අධිකාරී, යාපනයට - මනිඅගර් ලෙස පත් කරන්න එදා බ්‍රිතාන්‍ය රජය කටයුතු කළා. 1964 අංක 01 දරන පනතින් ගම්මුලාදෑනි තනතුර අහෝසි කරලා 'ග්‍රාම සේවක' තනතුර ඇති කළා.


    මම ගියපාර ආපු වෙලාවක කතාවක් කිව්වා. ගම්මුලාදෑනිවරුන් සියලු දෙනා එකතු වුණා කොළඹ ප්‍රසිද්ධ ශාලාවකට. එකතුවෙලා තනතුර අහෝසි කරපු හිතේ අමාරුවට කටට ශක්තිය එහෙම අරගෙන කවියක් කිව්වා. ඒ කවිය ආපහු මතක් කරන්න මහන්සි ගත්තත් මතක් වුණේ නෑ. ඒත් ඒ කවියේ අදහස වුණේ ගම්මුලාදෑනියා එදා ගමට එන හැම කෙනෙක්වම දන්නවා. කෝච්චියෙන් බැහැලා ආවා නම් ඒ ආපු පුද්ගලයාව දන්නවා. ඒ පුද්ගලයා නැවතිච්ච ගෙදර ගැන දන්නවා. ආපු හේතුවත් දන්නවා. ඒ ආකාරයට ගම්මුලාදෑනියාට ගම පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණා. ඔවුන් සමඟ පොලිසියත් ඉතාම කිට්ටුවෙන් වැඩ කළා. ඒක නිසාම ඒ කවිය අවසන් කළේ මීට පස්සේ උඹලාගේ ගෙවල්වලට ඇවිල්ලා කවුරු මොනවා කරලා ගියත් උඹල දන්නේ නෑ කියලා.

    කොහොම වුණත් ගම්මුලාදෑනියා ගම්වැසියන්ගේ උපතේ සිට මරණය දක්වා ඔහුගේ රාජකාරිය කරනවා. ගමේ වැදගත්ම තනතුර වගේම විශේෂයෙන්ම ජනතාවට සේවය කරන තනතුරක් ලෙස ග්‍රාම නිලධාරියාව හඳුන්වා දෙන්න පුළුවන්. ග්‍රාම සේවක කියන නම 'ග්‍රාම නිලධාරියා' කියලා ආපහු වෙනස් වුණේ 1993 දි.

    ග්‍රාම නිලධාරියා විටෙක ගමේ ආරක්ෂකයා, තවත් විටෙක ගමේ නිසි බලධාරියා වුණා. ඒ වගේම විටෙක ගමේ දුක්ගන්නාරාල ලෙස කටයුතු කළා. දැන් බලන්න බෝම්බයක් ගැන වාර්තා වුණා. ඒක වාර්තා කළේ ග්‍රාම නිලධාරියෙක්. අද ඔහුට විශේෂ පිළිගැනීමක් ලබා දුන්නා. ඒ කියන්නේ ඔහු කෙතරම් දුරට ගමේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනවා ද කියන එක. මම එකඟ නොවන එක කාරණයක් තියෙනවා. ඉස්සර ගමේ පුද්ගලයෙක් ගමට පත් කළා. එතකොට ඔහු ගමට වග කියනවා. අද සමහර වෙලාවට ග්‍රාම නිලධාරියා වැඩ කරන්නේ තමන්ගේ ගමේ නෙමෙයි, අනුන්ගේ ගමේ. අනුන්ගේ ගමට යනකොට වෙලාවත් ටිකක් පරක්කු වෙනවා. ඔහු හෝ ඇය වැඩ කරන්න ඕනේ තමන්ගේ ගමේ. මොකද ඔහුට ගමේ හිතවතුන්ට ගමේ නෑයන්ට වගකීමක් තියෙනවා. මේ අඩුපාඩු පිළිබඳව කල්පනා කළ යුතු යැයි මම විශ්වාස කරනවා.


    මේ ආණ්ඩුවට තවම මාස 03යි. අවුරුදු 05ට දුන්න පොරොන්දු මේ දවස් ටිකෙන් කරන්න තමයි සමහරුන්ගේ කල්පනාව. ඊයේ පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ගෙනාවේ අපි ගත්ත ණය බේරන්න නෙමෙයි. පසුගිය අවුරුද්දේ ගත්ත ණය බේරන්න. සිංහල අලුත් අවුරුද්දට සේවකයන්ගේ පඩි ගෙවලා අවුරුදු කන්න, අලුත් ඇඳුම් ටිකක් අරගෙන දරුවන් එක්ක කිරිබත් ටිකක් කන්න අපි සල්ලි ටිකක් ගමට යවන්න ලෑස්ති වෙනකොට විපක්ෂය ඒකට විරුද්ධ වුණා. එහෙම කරලා අපිව පරද්දන්න පුළුවන් වෙයි කියලා එයාලා හිතනවා. නමුත් ඊට වඩා පළපුරුදු දේශපාලන කණ්ඩායමක් අද ආණ්ඩු පක්ෂයේ ඉන්නවා. විපක්ෂයේ තියෙන කුහක කම නිසා ගමේ මිනිස්සුන්ට දරුවන් එක්ක අලුත් අවුරුද්ද සතුටින් සමරන්න තිබුණ අවස්ථාව වැළකුණා. විපක්ෂයක ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ හැම දේකටම විරුද්ධ වෙන එක නෙමෙයි. ජාතියට රටට සේවයක් වෙනවා නම් ඒ තීන්දු එක්ක එකතුවෙලා වැඩ කරන්න ඕනේ. හැබැයි මම නම් හිතුවේ මගේ පුද්ගලික මතය වුණේ මේ මාස තුනත් ඒ කට්ටියටම කරගෙන යන්න කියන එක. නමුත් වැඩි දෙනාගේ කැමැත්ත වුණේ මේ වැඩපිළිවෙල භාර අරගෙන කරගෙන යන්න. හැබැයි ඒ භාර ගත්ත නිසා අපිට ගමකට නිවාසය බැගින් නිවාස ලක්ෂයක් හදන්න අවස්ථාව ලැබුණා. ලක්ෂයකට රැකියා අවස්ථා ලබා දීමේ වැඩපිළිවෙලට යන්න හැකි වුණා. රජයේ රැකියාවක් දීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ඔවුන්ව දුප්පත්කමින් මුදවා ගැනීම.


    මේ නිසා ඒ කටයුතුවල දී ඔබට විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම් ඔබ ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සේවා ව්‍යවස්ථාව පැහැදිලිවම අපි ක්‍රියාවට නංවන බව නැවත මතක් කරමින් ඔබ සියලු දෙනාටම සුබ ආනගතයක් ප්‍රාර්ථනා කරනවා.

    මෙහිදී ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය විසින් සකස් කළ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව හා සමරු කලාපය අග්‍රාමාත්‍යතුමන් වෙත පිළිගැන්වූ අතර, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ හැකියාවන් පෙන්නුම් කළ ග්‍රාම නිලධාරීන් සඳහා සම්මාන සහ සහතික පත්‍ර පිළිගැන්වීම ද අග්‍රාමාත්‍යතුමන් අතින් සිදු විය.


    මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනු නායක නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනායක හිමිපාණන්වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ, සහ කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, යන අමාත්‍යවරුන් ද අනුරාධ ජයරත්න, ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya