මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      නිලධාරීවාදය සහ අධික රෙගුලාසි පිටු දැක දෙස්, විදෙස් ආයෝජන ප්‍රවර්ධනයට සහාය වන්නැයි ජනපති නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලයි.

    පෙබරවාරි 16, 2020

    අනවශ්‍ය නිලධාරීවාදය සහ අධික රෙගුලාසි ඉවත්කර දේශීය ව්‍යවසායකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට රටේ නව ව්‍යාපාර ඇති කිරීමේ අවස්ථා පුළුල් කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.


    එමගින් ව්‍යාපාරවලට පහසුකම් සැලසිය හැකි සරල කාර්යක්ෂම හා විධිමත් ව්‍යුහයක් නිර්මාණය වනු ඇත. ඒ සඳහා පුළුල් සහයක් ලබාදීමට නීතිඥ ක්ෂේත්‍රයට හැකියාව ඇතැයි (14) මීගමුවේ පැවති ජාතික නීති සම්මේලනය 2020 අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.
    ශ්‍රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සම්මන්ත්‍රණයේ මෙවර තේමාව වූයේ “ශ්‍රි ලංකාව, මූල්‍ය සහ වාණිජ කේන්ද්‍රය : දැක්ම, අභියෝග සහ ඉඩ ප්‍රස්ථා” යන්නයි.
    පුළුල් ක්ෂේත්‍ර රැසක් ඔස්සේ, වේගයෙන් දියුණුවන තාක්ෂණික ක්‍රමවේද ගෝලීය වාණිජ සහ කර්මාන්තවල විශාල පරිවර්තනයක් ඇති කරමින් තිබේ. එම පරිවර්තනය සමග ශ්‍රී ලංකාවද ඉදිරියට ගමන් කළයුතු යැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය. වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා නව වෙනස්කම් මගින් ලබාදෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට උත්සුක විය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.
    වේගවත් තාක්ෂණික විපර්යාසය සමග ලොව වඩාත් වැදගත් වෙළෙඳපොළ වශයෙන් ආසියාව කේන්ද්‍රගතවී තිබේ. ආසියාවේ නැගී සිටීම අප රටේ ආර්ථික සංවර්ධනය ඇත් කර ගැනිමට ද උපරිම වශයෙන් ඉවහල් කර ගත යුතුය. ඒ සඳහා කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් ක්‍රමවේද සකසා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට තම රජය කැපවන බව ද කියා සිටියේය.
    තොරතුරු තාක්ෂණ අංශයේ සමාගම්වලට සැලකිය යුතු බදු සහන මේ වන විටත් ලබා දී තිබේ. ක්ෂේත්‍රයේ ආයෝජනයට සහ වැඩි රැකියා අවස්ථා නිර්මාණයට දේශීය සහ විදේශීය සමාගම් දිරි ගැන්වීමට රජය ක්‍රියාකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ජාතික සංවර්ධනය වේගවත් කිරීමට සහ ආර්ථිකයේ පූර්ණ ශක්‍යතාවට අවශ්‍ය සංශෝධන කිරීමට රජය අදහස් කරයි. ව්‍යාපාරික රෙගුලාසි පද්ධතිය වැඩිදියුණු කිරීම ද අත්‍යාවශ්‍ය වේ. එමගින් ව්‍යාපාර කිරීමේ පහසුව සැලසෙන අතර අක්‍රමිකතා හා අයතා භාවිතය වළක්වා ගැනීමට පිළිවන. රට තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ දී කාර්යක්ෂමතාව සහ නීතියේ පිහිට පැතීමේ දී දැරිය හැකි මිල පිළිබඳව සැලකිල්ලට ගතයුතු කාලය එළැඹ තිබේ. රටේ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ආරවුල් කඩිනමින්
    පහසුවෙන් සහ දැරිය හැකි මිලකට විසඳා ගැනිමට අවස්ථාව තිබිය යුතුය.
    යුක්තිය පසිඳලිම ප්‍රමාදවීම යුක්තිය ප්‍රතික්ෂේප වීමක් ලෙස සැලකේ. එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන් කලකිරීමට පත් කරයි. එබැවින් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ලෝකයේ වඩා හොද ස්ථානයකට පත් කිරීමට අධිකරණය රජය සහ නීති ක්ෂේත්‍රය එක්ව පූර්ණ විසඳුමක් ඉදිරිපත් කිරීමට කාලය එළැඹ ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය.
    විධායකය හෝ ව්‍යවස්ථාදායකය හෝ නීතිමය ක්‍රියාවලියට සහ අධිකරණයට මැදිහත් වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරය. ඒ හා සමානව විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරිත්වයට අධිකරණය අනවශ්‍ය ලෙස මැදිහත් නොවීම ද වැදගත්ය.

    විධායකය හා ව්‍යවස්ථාදායකය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඔස්සේ ජනතාව විසින් තෝරාපත් කර ගැනේ. විශේෂයෙන් විධායකයට ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට ජනවරමක් ඇත. එබැවින් ජනතාවගේ යහ පැවැත්ම සහ සමෘද්ධිය වෙනුවෙන් විධායකය ගනු ලබන සංවර්ධන ප්‍රයත්නයන් සදහා අධිකරණය බාධා නොකිරීම වැදගත් බව ද ජනාධිපතිතුමා පෙන්වා
    දුන්නේය.
    සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීමට රජය ගෙන යන ක්‍රියාවලියට නීති ප්‍රජාවේ සාමාජිකයන්ගෙන් පූර්ණ සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.
    “ජාතික නීති සම්මේලනය 2020” ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. කථානායක කරූ ජයසූරිය, අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අධිකරණ අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරු සහ නිතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු සාමාජිකයෝ මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya