මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මදුරු මර්දන සතිය අද සිට ලබන 8 දක්වා

    අප්‍රේල් 02, 2014

    ජාතික මදුරු මර්දන සතිය අද (02) සිට ලබන 8 දක්වා ක්‍රියාත්මක කෙරේ. අප්‍රේල් මාසයේ දී ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ යාම සෑම වර්ෂයක දී ම සිදු වන අතර මැයි මාසය වන විට වර්ෂාව ලැබීමත් සමඟ මදුරු ඝනත්වයේ ඉහළ යාමක්ද සිදු වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරි‍සේන මහතා පවසයි.


    ඒ නිසා මෙවැනි ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ බව ඊයේ (01) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වාහක ජනක රෝග පාලනය පිළිබඳ සම්මන්‍ත්‍රණයට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.


    ඩෙංගු මදුරු මර්දනය සඳහා වන ‍ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජාතික මදුරු මර්දන සති ප්‍රකාශයට පත්කිරීම නිසා මදුරු උවදුර සැලකිය යුතු මට්ටමකින් ජයග්‍රහණය කිරීමට හැකි වූ බව ද ඇමැතිවරයා පැවැසීය.


    ජාතික මදුරු මර්දන සතිය තුළ දී තමන්ගේ ආයතනයට පැවරී ඇති කාර්යය නිවැරදිව කළේ ද යන්න හෘද සාක්ෂියට එකඟව විමසා බැලීමෙන් මදුරු උවදුර ජයග්‍රහණය කළ හැකි යැයි ද පසුගිය වසර හතර තුළ මදුරු මර්දන සති හතක් ප්‍රකාශයට පත් කළ බවත් ඒ සෑම අවස්ථාවක දී ම මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කළේ මදුරු මර්දනය සඳහා සියලුදෙනාගේ දායකත්වය ලබා ගැනීමට බවත් ඔහු කීය.


    ‍මදුරුවන්, මැස්සන් යනාදීන්ගෙන් බෝ වන රෝග, වාහක රෝග ලෙස හඳුන්වන අතර සියලු අමාත්‍යාංශ සහ මහජනතාව එක්ව වාහක රෝග මර්දනයට ද කටයුතු කළ යුතු බව පැවසූ ඇමැතිවරයා වාහක රෝග මර්දනය හා කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ප්‍රායෝගිකව මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමක් බවත් පෙන්වා දුන්නේය.

    මේ අවස්ථාවට ජ්‍යේෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ සහභාගී වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya