අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධ සියලු පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට බව ජනපති පවසයි

    අගෝස්තු 02, 2019

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධව පාරට බැස ඇති සියලු පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට බව ජනාධිපතිතුමා පවසයි.

    මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, බරපතළ අපරාධ සියල්ල පිටුපස තිබෙන්නේ මත්ද්‍රව්‍ය වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවට තීරණය කළේ මතු පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැඟීමට බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් පළ කළේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ඌව පළාත් ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය ගල්ගොඩගම සෝභිත නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීම වෙනුවෙන්  (01) පෙරවරුවේ බණ්ඩාරවෙල නගරශාලා ශ්‍රවණාගාරයේ පැවති පුණ්‍ය මහෝත්සවය අමතමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ දියුණු රටක් යනු භෞතික සම්පතින් පමණක් සංවර්ධනය වූ රටක් නොව විනයවත් සහ ගුණවත් මිනිසුන් ජීවත්වන යහපත් රටක් බවයි.
    අධ්‍යාත්මික සංවර්ධනයෙන් යුත් යහපත් මිනිසුන් ජීවත්වන රටක් ගොඩනැගීමට මහා සංඝරත්නය අතීතයේ සිට ඉටු කළ මෙහෙවර මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ සම්බුද්ධශාසනය සුරක්ෂිත කිරීමේ වගකීම ඉටුකරනවා සේම මහා සංඝරත්නය පෝෂණය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ වගකීම ඉටුකිරීමට ද රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවම කැපවී සිටින බවයි.

    ආදර්ශවත් පැවිදි දිවියේ වසර 47ක් සපුරා ඇති පූජ්‍ය ගල්ගොඩගම සෝභිත නායක ස්වාමින් වහන්සේ වියත් ලේඛකයෙකු ද වන අතර බෞද්ධ දර්ශනය පිළිබඳ කෘති ප්‍රකාශයට පත් කොට තිබේ.

    විහාරස්ථාන හතරක අධිපතිත්වය දරමින් සුවිශේෂි ආගමික සහ සමාජයීය මෙහෙවරක නිරත වන උන්වහන්සේගේ කාර්යභාරය අගයමින් මෙම නව ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබා තිබේ.

    අභිනව නායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    සමස්තලංකා අමරපුර මහා සංඝ සභාවේ මහ ලේඛකාධිකාරී පණ්ඩිත ආචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනායක ස්වාමින් වහන්සේ, ඌව මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කහත්තේවෙල සිරි නිවාසාභිධාන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් රැසක් සහ සැදැහැවතුන් මෙම උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya