අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජයෙහි පුද්ගලයා ආගමික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් සවිබල ගැන්විය යුතුයි

    ජූලි 15, 2014
    සමාජයෙහි පුද්ගලයා ආගමික වශයෙන් දියුණු වන අතර, ආර්ථික වශයෙන් සවිබල ගැන්විය යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.
     
     
    ආගමික වශයෙන් දියුණු වන අතර ඇතැම් පුද්ගලයන් ආර්ථික වශයෙන් පරිහානියට ලක්ව සිටින බවත්, ආර්ථික වශයෙන් සවිබල ගැන්වුවහොත් වඩා පහසුවෙන් ආගමික වශයෙන් දියුණුවක් අත්කර ගත හැකි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
     
    පිළිමතලාව, ඓතිහාසික දන්තුරේ රජමහා විහාරස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී බුළුමුල්ලේ බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික ධූරයෙන් පිදුම් ලද උන්වහන්සේ පිළිගැනීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ දී පැවති උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
     
    මෙහිදී අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් පැවසුවේ,ආර්ථික වශයෙන් දියුණුව සිටින පුද්ගලයාට ආගමික වශයෙන් දියුණු වීම සඳහා මනා පිටිවහලක් ලැබෙන බවයි.වර්තමානයේ දී සිංහල බෞද්ධයන් සෙසු ජාතීන්ට සාපේක්ෂව ආර්ථික වශයෙන් පරිහානියට පත්ව තිබෙනවා. නමුත් සාධාරණ ක්‍රම ඔස්සේ ආර්ථික වශයෙන් දියුණු විය යුතු යැයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පවා දේශනා කර තිබෙනවා.  තමන් සාධාරණ මාර්ගයෙන් උපයන මුදලින් කොටසක් ජීවත් වීම සඳහා ද, තවත් කොටස් දෙකක් ආයෝජන සඳහා ද, තව කොටසක් ඉතුරුම් සඳහා ද යෙදවිය යුතු යැයි බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කොට තිබෙනවා.
     
    අද සමාජයේ ජීවත් විය නොහැකියි, බඩු මිල ඉහළ ගිහිල්ලා, ප්‍රමාණවත් වැටුප් ලැබෙන්නේ නැහැ යනුවෙන් විවිධ මැසිවිලි එල්ල වුවද, ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කර ගැනීමෙන් සාර්ථක ජීවිතයක් ගත කර ගැනීමේ හැකියාව අපට හිමිවේවි. තමන් සිදු කරන කාර්යයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවේ නම්, ඒ අතර විකල්ප ආදායම් මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම කිසිදු වරදක් නොවේ. නමුත් කුමක් කළද ඒ ආදායම් මාර්ග සියල්ල සාධාරණ ආදායම් මාර්ග විය යුතුයි. වංචාව, නීති විරෝධි ක්‍රියා ආදියෙන් උපයන මුදල් සාධාරණ මුදල් ලෙස හැදින්විය නොහැකි.” යැයි ජයරත්න මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍යපාද දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ එහිදී අදහස් දක්වමින් වරදට යොමුව සිටින සමාජය නිසි මාර්ගයට යොමු කිරීම මහා සංඝරත්නයේ වගකීම වන බවත්, තමන් වහන්සේට එය ඉටු කළ නොහැකි අවස්ථාවන්හි උගත් විනයධර හිමිපාණන් වහන්සේලාගේ අවවාද, අනුශාසනා ලබාගත යුතු යැයි පැවසුහ.

    කාරක සංඝ සභික ධූරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය බුළුමුල්ලේ බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ, මහා සංඝරත්නයට අවවාද, අනුශාසනා ලබා දෙමින් නිහතමානී ජීවිතයක් ගත කරන අතර, බෞද්ධ ශාසනය, රට, ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වන හිමිපාණන් වහන්සේ නමක් වන්නේ යැයි අනුනායක හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.
     
    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඒ.ජී. සිරිසේන, මයන්ත දිසානායක යන මහත්වරු ද, යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya