අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුද්දර කාර්යාංශයෙන් වාර්තාගත ආදායමක්

    ජූලි 11, 2014
    2013 වසර මුද්දර කාර්යාංශයේ වාර්තාගත ආදායමක් ලැබු ජයග්‍රාහී වසරක් බවත් එය ඉතිහාසයේ වැඩිම ආදායම වන බවත් එය රුපියල් මිලියන 24.6 ඉක්මවන ආදායමක් බවත් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා පැවසීය.
     
    මේ සඳහා මුද්දර කාර්යාංශයේ මුද්දර මුද්‍රණයේ ස්වරූපය, එහි තේමාව, ජාතික හා ජාත්‍යන්තර මුද්දර වෙළෙඳපොළ සහ මුද්දර එකතුකරන්නන් ඉලක්ක කිරීම යන සාධක හේතු වී ඇත. මුද්දර කාර්යාංශය තුළ සිදුකරනු ලැබු වෙනස්කම්, සේවක දිරි ගැන්වීම් හා ඍජු මැදිහත්වීම් ද මීට හේතු වී ඇත.
     
    තැපැල් සේවා අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ පසුගිය දා තැපැල් මූලස්ථානයේ පැවැති මුද්දර කාර්යාංශ උපදේශක මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.
     
    මෙම ආදායම තවතවත් වැඩිකර ගැනීම සඳහා පාසල් මට්ටමින් මුද්දර සමාජ පිහිටුවීම ආරම්භ කර ඇති බවත් ඒ අනුව බස්නාහිර පළාක් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඍජු මැදිහත්වීමෙන් බස්නාහිර පළාතේ සියලු පාසල් ආවරණය වන පරිදි ඉදිරි මාසය ඇතුළත මෙම කටයුත්ත ආරම්භ කිරීමට නියමිත බවත් පැවසීය. මෙම ජාතික වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව මධ්‍යම පළාත තුළ ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
     
    පසුගිය වසර 05ක කාලය තුළ මුද්දර කාර්යාංශයේ කටයුතු බිඳවැටී තිබුණි. තැපෑල ජාලගත ව්‍යාපෘතියේ මුද්දර කාර්යාංශ මෙහෙයුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමත් සමඟ මෙම ජයග්‍රහණ අත්පත් කරගැනීමට හැකි වී ඇත. තැපෑල ජාලගත කිරීම 2013 වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ කෙරිණි.
     
    "මුද්දර කාර්යාංශයේ මෙහෙයුම් ක්‍රියාවලියේ අඩුපාඩු සොයා බලා ඒවා නිවැරදි කර මේ වන විට මුද්දර කාර්යාංශයේ සියලු කටයුතු මෙම මෙහෙයුම් ක්‍රියාවලිය හරහා කඩදාසි භාවිතයක් නොමැතිව ක්‍රියාත්මක කරමින් පවතී. නව මුද්දර ආශ්‍රිත ප්‍රකාශන ඉදිරියේ දී වාර්ෂිකව හඳුන්වා දෙනවා. එසේම කටුනායක ගුවන් තොටුපොළේ විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් නව මුද්දර අලෙවි කවුළුවක් ස්ථාපිත කිරීමටත් පියවර ගෙන තිබෙනවා". 
     
    ජාතික මුද්දර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රායෝගික ගැටලු ඇති වුවද එය ආරක්ෂා කරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් මුද්දර නිකුත් කිරීමට ඉදිරියේ දී සුදානමක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, තැපැල්පති ඩී.එල්.පී. රෝහණ අබේරත්න, මුද්දර උපදේශක මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya