අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට ජනතාවට සහන සැලසීමට රු. බිලියන 1.5 ක් Featured

    අගෝස්තු 23, 2017
    නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල ජනතාවට වියළි ආහාර සලාකය ලබාදීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 1.5 ක මුදලක් මේ වන විට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ.
     
    එම මුදලින් රුපියල් බිලියන 1.43 ක ප‍්‍රතිපාදන දැනටමත් ආදළ කටයුතු සඳහා යොදවා තිබෙන අතර පුත්තලම, කුරුණෑගල, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාවට වියළි ආහාර සලාක නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
     
    මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල, හම්බන්තොට, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට ද එම වියළි ආහාර සලාක නිකුත් කිරීම කඩිනමින් සිදු කෙරෙන බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසයි.
     
    දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරාගත් ගොවි ජනතාව වෙත සමූපකාර සමිති හරහා මෙම වියළි ආහාර සලාකය නිකුත් කරනු ලැබේ.
     
    නියඟයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලූ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ සිදුකරන ලද සංචාරයේදී ලබාදුන් උපදෙස් අනුව මෙම වියළි ආහාර සලාකය නිකුත් කෙරෙන අතර නියඟයෙන් පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම ඇතුළු සෙසු සුබසාධන කටයුතු සඳහා ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය. 
     
    මේ වන විට පවතින නියඟ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 15 ක පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 500,000 කට ආසන්න වෙතැයි සඳහන් කෙරුණ ද, ඉදිරි කාලයේදී තවදුරටත් වර්ෂාව නොලැබුණහොත් එම පවුල් සංඛ්‍යාව 600,000 ක් වෙතැයි අපේක්ෂා කෙරේ. 
     
    මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබුණ ද නියඟ තත්ත්තවය පහව යාම සඳහා එම වර්ෂාව ප‍්‍රමාණවත් නොවන බව අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වාර්තා කර තිබේ. විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු මැද හා වයඹ පළාත්වල දිස්ත්‍රික්කයන්හි නියඟ තත්ත්වය උග‍්‍ර වෙමින් පවතින බවද වාර්තා වෙයි. 
     
    කෙසේ වෙතත්, තවදුරටත් මෙම සහන සැලසීම අඛණ්ඩව ඉදිරි මාස 02 දක්වා  කළයුතුව ඇති අතර, අපේක්ෂිත වර්ෂාව නිසි පරිදි නොලැබුණහොත් තවදුරටත් සහන සැලසීම කළ යුතුවේ. ඒ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන සියල්ල ලබාදිමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වන විට සැලසුම් සකස් කර තිබේ. 
     
    මෙම කටයුතුවලදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන් සහ අනෙකුත් ප‍්‍රාදේශීය/ග‍්‍රාමීය මට්ටමේ නිලධාරින් සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමටත්, සෑම  සතියකට වරක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් ඊට අදාළ ප‍්‍රගති වාර්තා කැඳවීමටත් ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙන අතර යුද හමුදාපතිවරයා මගින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ කාර්ය සාධනය පිළිබඳ නිදහස් වාර්තාවක් ලබාගැනීමටද උපදෙස් දී තිබේ.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya