අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික සංගණනය යටතේ කෘෂිකාර්මික අංශයේ තොරතුරු එක්රැස් කෙරේ

    ජූනි 24, 2014
    ලෝකයේ දියුණු රටවල මෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ද දළ දේශීය නිෂ්පාදිතයට සේවා අංශයේ දායකත්වය අනෙකුත් අංශ එනම් කෘෂිකර්මාන්ත හා කර්මාන්ත අංශ අබිබවා ඉදරියට පැමිණ ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ඩී.සී.ඒ. ගුණවර්ධන මහතා පවසයි.
     
     
    2014 පළමු කාර්තුව සඳහා දෙපාර්තමේන්තුව මඟින් කරන ලද ගණනය කිරීම්වලට අනුව මේ වන විට කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා අංශවල දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය පිළිවෙළින් 12%, 33% සහ 56%ක් වේ.
     
    ශ්‍රී ලංකාවේ ද ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වී ඇති ව්‍යුහාත්මක වෙනස්කම් සැලකිල්ලට ගෙන එලෙස කෘෂිකර්ම, කර්මාන්ත ලෙස සංගණන දෙකක් වෙන් වෙන් වශයෙන් නොපවත්වා එම සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි 2013/14 වර්ෂවලදී ආර්ථික සංගණනයක් පැවැත්වීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් කටයුතු යොදා ඇත.
     
    ආර්ථික සංගණනය අදියර 04කින් පැවැත්වීමට නියමිතය. පළමුව ශ්‍රී ලංකාවේ සියලුම වතු (අක්කර 20ට වැඩි ගොවි කාණ්ඩ) 2013 වසරේ ජූලි- අගෝස්තු මාසවලදීත් දෙවන අදියර යටතේ සියලුම කර්මාන්ත, වෙළෙඳ හා සේවා ඒකක 2013 වසරේ ඔක්තෝම්බර් මාසවලදීත් ලැයිස්තු ගත කරන ලදී.
     
    අනතුරුව මෙම වසරේ ජූනි-ජූලි මාස තුළ දී කෘෂිකර්මාන්තයට අදාළ සියලු ම ඒකක පිළිබඳ විස්තරාත්මක තොරතුරු රැස් කෙරෙන අතර, ඔක්තෝම්බර් - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ කර්මාන්ත, වෙළෙඳ හා සේවා අංශවලින් සංගණනයේ හතරවන අදියර යටතේ විස්තරාත්මක තොරතුරු රැස් කරනු ලැබේ.
     
    විශාල ගොවි කණ්ඩායම් එනම් වතු හා කුඩා ගොවි කණ්ඩායම් ආවරණය කරමින් ගොවි කාරකයන්, ගොවි කාරකයාගේ ගෘහ කාණ්ඩ පිළිබඳ, ඉඩම් භාවිතය හා භුක්තිය, ඒ ඒ බෝග යටතේ වගා කොට ඇති බිම් ප්‍රමාණය, මිරිදිය/කිවුල්දිය/කරදිය මත්ස්‍ය වගාව ආදී විෂයයන්ට අදාළ තොරතුරු රැස් කරනු ලබයි.
     
    තවද මෙම අදියරේදී ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ඒ ඒ ග්‍රාම නිලධාරී කොට්ඨාස තුළ පවතින කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ පහසුකම්, වෙළෙඳපොළ, කෘෂිකර්ම ව්‍යාප්ති සේවා ආදිය පිළිබඳ තොරතුරු විශේෂ ප්‍රශ්නාවලියක් භාවිතයෙන් රැස් කෙරේ.
     
    මීට අමතරව තෝරා ගත් ගෘහ ඒකක 28,000ක නියැඳියක් සමීක්ෂණයට භාජනය කොට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තොරතුරු රැස් කිරීමට කටයුතු යොදා ඇත.
     
    මෙම අදියරේදී රැස් කරන තොරතුරු භාවිතයෙන් පිළියෙළ කරන වාර්තා අවස්ථා කිහිපයක දී නිකුත් කිරීමට නියමිතය.
     
    එමෙන්ම රැස්කර ගන්නා තොරතුරු භාවිතයෙන් විස්තරාත්මක වාර්තාවක් දත්ත සැකසීමෙන් පසුව ප්‍රකාශයට පත්කරන අතර ජාතික, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ සංඛ්‍යාති ප්‍රකාශයට පත්කිරීමක් එමඟින් සිදු කෙරේ.  ඒ අනුව ගොවි කණ්ඩ සංඛ්‍යාව, ගොවි කාරකයන් සංඛ්‍යාව, එක් එක් බෝග වගාව යටතේ ඇති බිම් ප්‍රමාණය, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිතය, කෘෂිකර්ම නිෂ්පාදන එක්රැස් කරවීමේ පහසුකම්, ආහාර තොග පවත්වා ගැනීම ආදී සංඛ්‍යාති ප්‍රකාශයට පත් කරනු ලබයි.
     
    සංගණන ආඥා පනත අනුව මහජනතාව වෙතින් මෙම තොරතුරු රැස් කරන අතර රජයේ ප්‍රතිපත්ති සම්පාදනයට සහ තීරණ ගැනීමට අවශ්‍ය ජාතික වැදගත්කමකින් යුක්ත දත්ත රටේ සංවර්ධනය වෙනුවෙන් ලබාදීමට මහජනතාව බැඳී සිටී. එමෙන් ම එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවද සංගණන ආඥා පනත අනුව බැඳී සිටී. සංගණනයේ රැස්කරන තොරතුරු යොදාගනිමින් පරිපාලන කොට්ඨාස මට්ටමින් පිළියෙළ කරන ලද සංඛ්‍යාති පමණක් ප්‍රකාශයට පත් කරනු ලැබේ. පෞද්ගලික මට්ටමේ තොරතුරු කිසිදු අයුරකින් කිසිම ආයතනයකට හෝ පුද්ගලයන්ට අනාවරණය නොකරණ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
     
    තොරතුරු ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව මඟින් පත්කරන ලද ගණන් ගන්නා නිලධාරීන් සියලු ම නිවාස ඒකකවලට පැමිණෙනු ඇත. මෙහි දී කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යන පුද්ගලයන් සහ ආයතන ගණන් ගන්නා නිලධාරීන්ට ස්වේච්ඡාවෙන් තොරතුරු ලබාදීමට සහය වන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පවත්වන මෙම ආර්ථික සංගණනය සාර්ථකව සිදු කිරීමට හේතු වන බවත් අධ්‍යක්ෂ ජනරජල්වරයා පවසයි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya