“සාර්ථකත්වය සඳහා වෙළඳාම : සම්බන්ධවීම, තරඟ කිරීම, වෙනස්වීම“ යන්න මෙවර සමුළුවේ තේමාව වන අතර, පළමු වරට මෙරටදී මුළුදෙන ලෝක අපනයන සංවර්ධන සමුළුව මෙවර පැවැත්වෙන්නේ 16 වැනි වරටයි.
ජිනීවාහි, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ICT) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන ලෝක අපනයන සංවර්ධන සමුළුවේ සමගාමී වැඩසටහන් යටතේ වන ව්‍යාපාරික සම්මන්ත්‍රණ මාලාවක් හා මුහුණට මුහුණලා පැවැති ව්‍යාපාරික හමුවීම් මාලාව ඊයේ (11) බණ්ඩාරනයක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.
මෙරට අපනයන අභිමුඛ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා අපනයනකරුවන් සඳහා ජාත්‍යන්තර වෙළඳ පොළ අත්දැකීම් හා වෙළඳ අවස්ථා පුළුල් කර ගැනීමටත්, තරඟකාරී ගෝලීය වෙළඳ පොළට සරිලන ලෙස තම භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කිරීමටත් අවශ්‍ය දැනුම, සහාය හා මඟ පෙන්වීම ලබාදීමත් මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ විය.
පෝලන්තය හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය, දකුණු අප්‍රිකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය සහ කාන්තා ව්‍යාපාරික ප්‍රවණතා ඇතුළු ද්වීපාර්ශ්වික වෙළඳ අවස්ථා, තොරතුරු තාක්ෂණය, බීපීඕ (BPO) සේවා සඳහා යුරෝපීය වෙළෙඳපොළ තුළ නව ප්‍රවණතා, ෆින්ලන්තය වෙත සිදුකරන අපනයන පිළිබඳ දැනුවත් කිරීම, යුරෝපය සමඟ ව්‍යාපාරික සබඳතා ගොඩනැංවීම, තරුණ ව්‍යවසායකයින්ගේ අදහස් වාණිජකරණය කිරීම, තොරතුරු තාක්ෂණ අංශයේ ජාත්‍යන්තර වෙළඳ වෙළඳ පොළ කෙසේ වේද ? යන මාතෘකා යටතේ සමගාමී සම්මන්ත්‍රණ පවත්වනු ලැබීය.
ලෝක අපනයන සංවර්ධන සමුළුවේ ඊයේ සවස් කාලය වෙන් කර තිබුණේ මුහුණට මුහුණලා වන ව්‍යාපාරික හමු (B2B) වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් හා ව්‍යාපාරිකයන් ගෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කළ ඉල්ලීම් අනුව, ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනයට දායක විය හැකි ජාත්‍යන්තර සමාගම් හා සැසඳීමෙන් අනතුරුව මෙම ද්වීපාර්ශ්වික හමු සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය. මෙරට නිෂ්පාදන හා සේවා සඳහා සෘජු විදේශ වෙළඳ පොළ සොයා දීමටත්, නව තාක්ෂණය හා යෙදවුම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් දේශීය ව්‍යාපාරිකයෝ යුහුසුළුව කටයුතු කරනු දක්නට ලැබිණි.
පෝලන්තය ජනරජයේ නවදිල්ලියේ තානාපති ටොමෑස් ලූකසුක් (Tomasz Łukaszuk), පෝලන්ත නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී සහ දූත මණ්ඩල ප්‍රධානී, ඇඩම් ඩැසලෙව්ස්කි (Adam Dyszlewski), දකුණු අප්‍රිකානු නියෝජිත ඩැරල් ස්වේන්පෝල් (Daryl Swanepaol), නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ, සංවර්ධනය වන රටවල අපනයන ප්‍රවර්ධනය සඳහා වන මධ්‍යස්ථානයේ විශේෂඥ, පීටර් වොගෙලාර් (Perer Vogelaar), ක්‍රොඒෂියානු සහභාගීත්ව ව්‍යාපාරික වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂක, සිව් ඇහෙල්බර්ග් (Siv Ahlberg), ජිනීවාහි කර්මාන්ත හා සේවා වාණිජ මණ්ඩලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රධානී, වින්සන්ට් සුබිලියා (Vincent Subilia) යන මහත්වරුන් මෙන්ම, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, ඉන්දිරා මල්වත්ත මහත්මියද දේශන පවත්වනු ලැබීය.
මෙම ලෝක අපනයන සංවර්ධන සමුළුව සඳහා ලෝකයේ රටවල් රැසකින් ජාත්‍යන්තර වෙළඳාම හා ව්‍යාපාරික ආයතන නියෝජිතයින් විශාල පිරිසක් පැමිණ සිටිති. කලාපීය හා ගෝලීය තරඟකාරීත්වයේදී බලපාන ගැටළු, නව වෙළඳපොළ හා සංවර්ධනයේ භූදර්ශනය මෙන්ම සාර්ථකත්වය සඳහා වන උපාය මාර්ග වෙත අවධානය යොමු කිරීම, මෙරට අපනයනකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර ගැණුම්කරුවන් හා ජාලගත වීමටද, දිඟුකාලීන වෙළඳ සබඳතා ඇති කර ගැනීමට පිටුබලය සැපයීමද මෙම සමුළුවේ අරමුණ වේ. එමෙන්ම ශක්තිමත් අපනයන ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම සැකසීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
AP