නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹට බලපෑ ගංවතුරට ප්‍රධාන හේතුව අනවසර ඉදිකිරීම්

    මැයි 24, 2016
    කොළඹ ප්‍රදේශයට බලපෑ ප්‍රබල ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව අනවසර ඉදිකිරීම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කැලණි ගඟ දෙපස ඇති මෙම ඉදිකිරීම හේතුවෙන් හදිසි ආපදා අවස්ථාවල සහන කටයුතු සිදු කිරීමට පවා බාධාවන් මතු වන බවයි.  මුදල් අමාත්‍යාංශයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ඊයේ (23) අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය. 
     
    පීඩාවට පත් ජනතාවගේ දේපොළ පිළිබඳ තක්සේරු කිරීම් කඩිනමින් සිදු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ද සිය ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් වන්දි ලබා දෙන බව සඳහන් කළේය. ඒ සඳහා ඉකුත් අයවැයෙන් හඳුන්වා දුන් ජාතික රක්ෂණ භාර අරමුදල මනා පිටිවහලක් වී ඇති බව හෙතෙම සඳහන් කළේ ය. මෙතෙක් හානියට පත් දේපොළවල වටිනාකම් පූර්ණ තක්සේරුවක් සිදු කර නොමැති වුව ද රුපියල් කෝටි 15,000ත් 25,000ත් අතර මුදලක් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වැය වෙතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය. 

     
    ගංවතුර තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පවුල් 33,000කට අයත් පුද්ගලයන් 105,000ක් සිය නිවාසවලින් ඉවත් කිරීමට සහන කණ්ඩායම් කටයුතු කළේය. වැඩි ම බලපෑමක් එල්ල වූයේ කොලොන්නාව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයටයි. එහි ජීවත් වූ පවුල් 20,000කට අයත් පුද්ගලයෝ 80,000ක් පමණ ගංවතුරෙන් පීඩාවට පත් වූහ. 
     

    ආපදා සහන සේවා කටයුතුවල දී දිවා රෑ නොබලා කටයුතු කළ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසංශා කළ අමාත්‍යවරයා සහනාධාර රැගෙන පැමිණි ඇතැම් කණ්ඩායම්වලට සහන කටයුතුවල දී බාධාවක් වූ බව පැවසීය. පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශයන්ගෙන් ලැබෙන ආධාර කිසිදු මැදිහත්කරුවෙකු නොමැතිව ජනතාව අතට පත් කිරීමට සූදානම් බව පෙන්වා දුන් ඔහු එවැනි මැදිහත්කරුවන් සිටී නම් ඔවුන්ව හෙළදරව් කිරීමේ වගකීම මාධ්‍ය සතු බව පෙන්වා දුන්නේය. එවැනි පාර්ශ්වයන්ට දිය හැකි උපරිම දඩුවම ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya