අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෘෂ්ණාව, ද්වේෂය, භය, මුළාව යන සතර අගතියෙන් මිදෙන මග යහපාලනයට මෙන්ම සමාජ පැවැත්මට ද අත්‍යාවශ්‍යය යි – ජනපති Featured

    මැයි 21, 2016

    තෘෂ්ණාව, ද්වේෂය, භය, මුළාව යන සතර අගතියෙන් මිදෙන මග යහපාලනයට මෙන්ම සමාජ පැවැත්මට ද අත්‍යාවශ්‍යය බවත් ජාති, කුල, ආගම්, උස් පහත් යනාදී භේද නැති සමානාත්මතාව ගරු කරන සාධාරණ සමාජයක අපේක්ෂාව බෞද්ධ සිත් තුළ වර්ධනය විය යුතු බවත් වෙසක් පුර පසළොස්වක දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

    මානව වර්ගයාගේ සියලු දුක් දොම්නස් දුරලන ප‍්‍රඥා මාර්ගය පසක් කර දුන් බුදු උතුමෝ ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් ජීවිතය ජය ගන්නා මග පහදා දුන් බවය. මිනිසා හා හාත්පස පරිසරය ද විශ්වය ද අතැඹුලක් සේ දුටු බුදුහු අකාලික හා සාර්ව භෞමික ධර්මයක් දෙසූහ. විද්‍යා සංවර්ධනය, ඉන්ද්‍රීය සංවරය, ආධ්‍යාත්මික ශාන්තිය, පරාර්ථචර්යාව යනාදී පුරුෂාර්ථ මානව වර්ගයාගේ අභිවෘද්ධියට හේතු වන අයුරු එහිලා විග‍්‍රහ කළ බව ජනාධිපතිතුමා සිය පණිවිඩය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ සම්පූර්ණ වෙසක් දින පණිවුඩය මෙසේය:-

     

    වසර දෙදහස් පන්සිය හැටකට (2560) පෙර මේ විශ්වයේ බිහි වූ සුවිශිෂ්ට මහා පුරුෂයාණන් වූ බුදුන්වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවීම යන තෙමගුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක දිනය අදයි. ලොව පුරා විසිරී සිටින බොදුනුවෝ ඒ අසමසම ප‍්‍රඥා නිධාන වූ කරුණා සාගර වූ අසරණ සරණ වූ අනාථනාථ වූ බුදු හිමියන්ගේ ගුණ සිහි කරමින් පූජා කරති. පිළිවෙත් පුරති.

     

    මානව වර්ගයාගේ සියලු දුක් දොම්නස් දුරලන ප‍්‍රඥා මාර්ගය පසක් කර දුන් බුදු උතුමෝ ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් ජීවිතය ජය ගන්නා මග පහදා දුන්හ. මිනිසා හා හාත්පස පරිසරය ද විශ්වය ද අතැඹුලක් සේ දුටු බුදුහු අකාලික හා සාර්ව භෞමික ධර්මයක් දෙසූහ. විද්‍යා සංවර්ධනය, ඉන්ද්‍රීය සංවරය, ආධ්‍යාත්මික ශාන්තිය, පරාර්ථචර්යාව යනාදී පුරුෂාර්ථ මානව වර්ගයාගේ අභිවෘද්ධියට හේතු වන අයුරු එහිලා විග‍්‍රහ කළහ.

     

    චිත්ත විශුද්ධියෙන් හා ප‍්‍රඥා සම්පත්තියෙන් පමණක් විමුක්තිය පසක් කළ හැකි බව බුද්ධ වචනය වුවද අපි ඒ මගින් ද ඈත් වෙමින් සිටිමු. සමාජය යනු අපගේ පොදු වේදිකාවය. මේ පොදු වේදිකාව මත අප ඇස ගැටෙන රැඟුම් කෙබඳු ද? අපගේ බැතිමත් බව සත්‍යවාදී බව, සුචරිතවත් බව, පරිත්‍යාගශීලී බව යන සියල්ල හුදු නිරූපණ විනා අව්‍යාජ ඒවා නොවේ. හදවතෙහි නැගෙන නොදැමුණු පාපී හැඟීම් බුද්ධියෙන් දමනය කළ නොහැකි නම් ඒ බෞද්ධකම කුමට ද?

     

    විවේක බුද්ධිය, කරුණාව, දයාව, උපේක්ෂාව, මෛත‍්‍රිය, මානව භක්තිය, උපශාන්ත බව, සංවර ශීලය, යහගුණය, අපිස් බව, සරල බව, චාම් බව, සත්‍යවාදී බව කොතැන ද එතැන බෞද්ධකම ඇත. සාමයට, මනුෂ්‍යත්වයට ගෞරව කිරීම බෞද්ධ චර්යාවයි.

     

    තෘෂ්ණාව. ද්වේෂය, භය, මුළාව යන සතර අගතියෙන් මිදෙන මග යහපාලනයට මෙන්ම සමාජ පැවැත්මට ද අත්‍යාවශ්‍යය ය. ජාති කුල, ආගම්, උස් පහත් යනාදී භේද නැති සමානාත්මතාව ගරු කරන සාධාරණ සමාජයක අපේක්ෂාව බෞද්ධ සිත් තුළ වර්ධනය විය යුතුය.

     

    ආගමානුකූල ජීවිතය ලෙස බොහෝ දෙනෙක් අදහස් කරන්නේ මල් පහන් පිදීම, බණ ඇසීම, පෝයට පන්සල් යාම ආදිය යි. එහෙත් නියම බෞද්ධයා යනු බහුජන හිත පිණිස, බහුජන සුව පිණිස ක‍්‍රියා කරන්නාය. ජනතා විමුක්තිය සැලසීම සඳහා එමගට යොමු වීමට සියලු බොදුනුවෝ අදිටන් කර ගනිත්වා. පළමුව තමන් සැදී දෙවනුව අනුන් සැදීමට යොමු වෙත්වා.

     

      ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා යි මෙත් සිතින් පතමි.

     

       

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya