35th YOUTH SPORTS FEST 2025 දිස්ත්‍රික් ක්‍රීඩා උලෙළ ඊයේ (09) කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 නියෝජනය කරමින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සහභාගී වූ අතර, එහි කණ්ඩායම් තරඟ ඉසව් පසුගියදා අවසන් විය.
දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කරමින් ජවන හා පිටිය තරඟ පැවැත්වුණු අතර, සමස්ත ශුරතාවය කරච්චි ප්‍රාදේශීය මණ්ඩලය හිමි කරගත්තේ ය.
මෙහි දී අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා,
"තෘප්තිමත් තාරුණ්‍යයක් - නිවහල් චින්තනයක් ප්‍රතිපත්තිය තුළ අපි උත්සාහ කළා ක්‍රීඩාශීලී තාරුණ්‍යයක් වෙනුවෙන් ප්‍රතිපත්ති නිර්මාණය කරන්න. දැන් අපිට ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා.
ක්‍රීඩාවට තරුණයා යොමු කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරන මෙම ක්‍රීඩා උළෙල තවදුරටත් විධිමත් කරමින් ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටට තවත් දශක හතරකට නායකත්වය දිය හැකි හොඳ තරුණයෙක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පවතිනවා. එම තරුණයා ක්‍රීඩාශීලී තරුණ එක් ලෙස ඉදිරියට ගෙන ඒමට අවශ්‍යතාවය තියෙනවා. අපේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ තරුණ ක්‍රීඩා උත්සව සඳහා අපි ලබා දෙන ප්‍රතිපාදන වැඩි කරමින් විධිමත් කිරීමට කටයුතු කරලා තියෙනවා.
එය ඔස්සේ අපිට හැකියාව ලැබිලා තියෙනවා ඔබට අවශ්‍ය පදක්කම් ලබාදෙන්න, ඒ වගේම ඔබට අවශ්‍ය නේවාසික පහසුකම් ලබාගැනීමට අවශ්‍ය දීමනා, ඒ වගේම පෝෂණ දීමනා ලබාදෙන්න. ක්‍රීඩා උළෙල පැවැත්වීමට ලබාදෙන ප්‍රතිපාදනත් වැඩි කරලා තියෙනවා.
අපිට අවශ්‍යයයි මේ රටේ සියලුම තරුණ තරුණියන් රටේ ක්‍රීඩාවට සම්බන්ධ කරගනිමින් නව ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනගන්න. සභාපතිතුමා කිව්වා වගේ ඒ ක්‍රීඩා සංස්කෘතිය ඇති කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1163 වෙන් වෙලා තියෙනවා කියලා. ක්‍රීඩාව තුළ නිරන්තරයෙන් තරඟයක් ඇති කරනවා වෙනුවට, ජයග්‍රහණ පමණක්ම බලාපොරොත්තු වෙනවා වෙනුවට ක්‍රීඩා සංස්කෘතියක් , ක්‍රීඩාශීලී ජීවිතයක් ගොඩනගන්න අපි ප්‍රතිපත්ති නිර්මාණය කරලා තියෙනවා. සෞඛ්‍ය සම්පන්න තරුණයෙක් සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් වෙනුවෙන් තමයි අපි මේ ප්‍රතිපත්ති ගොඩනගන්නේ.
මේ අතරේ විෂ මත්ද්‍රව්‍යයට එරෙහි සටනත් අපි කරගෙන යනවා. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කරන්න ස්වෙච්ඡා පුහුණු මධ්‍යස්ථාන අපි හදනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය විකුණ අයව අපි කිසිදු තරාතිරමක් නොබලා අත්අඩංගුවට ගන්නවා. අපි විශ්වාස කරනවා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරීමෙන් නායකත්වය ගන්න පුළුවන් දන්න පරම්පරාවක් බිහි කරන්න අපිට පුළුවන් කියලා. හෙට දවසේ මේ රට අයිති ඔබට." යනුවෙන් පැවසීය.
ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලවල් අවසානයේ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල පවත්වා, ජාතික ක්‍රීඩා උළෙල දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාදන් ඉලන්කුමරන් මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ/ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඩිලාන් සේනානායක, යූත් ක්ලබ් ජාතික සම්මේලනයේ ලේකම් මිථින ගිහාන් ප්‍රියසාද් ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


