CASA සෙවන්ස් රග්බි පිටියේ විශිෂ්ට දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ‘ටස්කර්ස්’ කණ්ඩායම දිවයිනට පැමිණෙයි

CASA සෙවන්ස් රග්බි පිටියේ විශිෂ්ට දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ‘ටස්කර්ස්’ කණ්ඩායම දිවයිනට පැමිණෙයි
  • SocialShare:

ප්‍රථම මධ්‍යම ආසියානු සහ දකුණු ආසියානු (CASA) සෙවන්ස් රග්බි තරගාවලියේ පිරිමි සහ කාන්තා දෙඅංශයේම ශූරතාවය (Double Championship) දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම් සමත් විය.

තරගාවලිය ජයග්‍රණය කළ එම කණ්ඩායම් අද (19) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණි අතර ඔවුන් පිළිගැනීමට තොටුපළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි.

මැයි මස 16 සහ 17 යන දිනවලදී උස්බෙකිස්තානයේ දී පැවැති මෙම තරගාවලිය පුරා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම් දෙකම අතිවිශිෂ්ට ක්‍රීඩා විලාශයක් සහ තරගාවලිය පුරා අපරාජිතව ක්‍රීඩා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ආරම්භයේ සිටම තරගයේ පාලනය තමන් සතු කරගත් අතර ලකුණු 31-10 ක් වැනි දැවැන්ත පරතරයකින් ඉන්දියාව පරාජය කරමින් CASA සෙවන්ස් ප්‍රථම පිරිමි ශූරතාව දිනාගත්තේය.

 කාන්තා අංශයේ අවසන් මහා තරගයේ දී කසකස්තාන කණ්ඩායමට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ නොතබමින් (Clean Sheet), ලකුණු 27-0 ක් ලෙස ප්‍රතිවාදීන් පරාජය කරමින් කාන්තා අංශයේ ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් මව්බිම නියෝජනය කරමින් උපරිම දායකත්වය සැපයූ සංචිතයන් මෙසේය,

පිරිමි සංචිතය: ප්‍රවීණ සහ අත්දැකීම් බහුල ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් සහ ජනිදු දිල්ෂාන්ගේ උපනායකත්වයෙන් සමන්විත විය. සංචිතයේ සෙසු ක්‍රීඩකයන් ලෙස චතුර සොයිසා, ආකාශ් මධුශංක, කවිඳු පෙරේරා සහ කවිඳු ද කොස්තා ඇතුළු ක්‍රීඩකයෝ රට වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්වූ හ.

කාන්තා සංචිතය: චරණි ලියනගේ ගේ දක්ෂ නායකත්වයෙන් සහ සංජීවනී විජේතිලකගේ උපනායකත්වයෙන් පිටියට පිවිසි අතර, හේකෂානි ක්‍රිෂ්ණකුමාරි, දිලිනි කාංචනා සහ කවීෂා ඉෂානි පෙරේරා ඇතුළු ක්‍රීඩිකාවෝ තරගාවලිය පුරා කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.

මෙම පිරිස පිළිගැනීමට ලංකා රග්බි සංගමයේ (SLR) සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් දර්ශන වරාගොඩ මහතා , මීට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්, හිතමිතුරන් සහ ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.