අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිගා ඔය සහ වහගල ඔය සම්බන්ධ කරමින් පාලම් සැදීම තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්

    ඔක්තෝබර් 27, 2018

    අකුරණ ප්‍රදේශයේ නිරන්තරයෙන් ඇතිවන ගං වතුර තත්වයට ස්ථීර විසදුමක් ලබා දෙන තුරු පිගා ඔය සහ වහගල ඔය සම්බන්ධ කරමින් එපිට ප්‍රදේශ දක්වා පාලම් ඉදි කිරීම තාවකාලිකව අත් හිටුවීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් එල්.ජේ.එම්.ජී.චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් තීරණය කරන ලදී.

    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම තීරණය ගනු ලැබුවේ අකුරණ වෙළද සංකීර්ණය ඉදි කිරීම සහ ගංවතුර තත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් (25) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ රැස්වීමකදීය. කමිටුව වෙත ඉදිරිපත් වූ කරුණු අනුව සියළු දෙනාගේ ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් මෙම තීරණය ගන්නා ලදී. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු අකුරණ සිට අඔතැන්න දක්වා ප්‍රදේශයේ පිගාඔය සහ වහගල ඔය සම්බන්ධ කරගෙන පාලම් දැමීමට අවසර නොදෙන ලෙස අදාල අංශ දැනුවත් කිරීමටද තීරණය කරන ලදී.

     

    මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ නගරය ආශ්‍රිත ප්‍රදේශය මෑතක සිට සුළු වර්ෂාවකදී පවා ගංවතුර තර්ජනයට ලක්වන තත්වයක් උද්ගතව ඇත. පසුගිය සතියේ ඇද හැලුනු වර්ෂාවෙන්ද අකුරණ නගරයට ගං වතුර තර්ජන ඇති වූ අතර, ඒ තුළින් ප්‍රදේශයේ ජන ජීවිතයද අඩාල විය.

     

    අකුරණ ආශ්‍රිත ප්‍රදේශය මෙලෙස ගංවතුර තර්ජනයට ලක්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පිගා ඔය සහ වහගල ඔය හරස් කරමින් එපිට ගම්මාන වලට ගමන් කිරීම සදහා පුද්ගලික පාලම් ඉදි කිරීමයි. දැනට අඔතැන්නේ සිට අකුරණ දක්වා ප්‍රදේශයේ පාලම් 31 ක් ඉදි වී ඇති අතර, එයින් වැඩි ප්‍රමාණයක් අනවසරය. මේ නිසා පිගා ඔයෙන් ගලා එන ජලය අධික වැසි දිනවලදී එම පාලම් නිසා පිටාර ගලන තත්වයකට පත් ව තිබේ. 

     

    මීට අමතරව පිගා ඔයට සහ වහගල ඔයට අපද්‍රව්‍ය එක් කිරීම නිසා ද ඒවා ගොඩ වී ඇති අතර, අනවසර ඉදි කිරීම් රැසක්ම රක්ෂිත ඉඩම්වල ඉදි කොට ඇති බව කමිටුවේදී අනාවරණය විය. මේ වන විට අකුරණ ප්‍රදේශයේ ගං වතුර තත්වය පිළිබද සොයා බැලීම සදහා විශේෂ කමිටුවක්ද පත් කොට ඇති අතර, ඉදිරි මාසයක කාලය තුළ එම කමිටුවේ වාර්තාව ලබාදීමට නියමිතය.

    මෙම රැස්වීම සදහා හතරලියද්ද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරු වන සී.එල් ද අල්විස් සහ ප්‍රාදේශීය සභාවේ සභාපති අයි. එම් ඉස්තිහාර් යන මහත්වරු, අකුරණ වෙළද සංගමයේ සභාපති ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya