වියෝ ගිනි මැද දැවෙන හදවත් ආනන්දනීය බවේ අන්තයටම රැගෙන ගිය ඒ සොදුරු මිනිසා සිහිපත් කරමින් පැවැති මෙම ප්‍රසංගය ප්‍රශංසනීය ය. ලෝක ළමා දිනය සැමරීමත් ඒ ඔස්සේ අනුරපුර ඈත පිටිසර ගම්බද දරුවන්ගේ සෞන්දර්යාත්මක ප්‍රගතිය කියා පෑමත්,සැබෑ ගුරු භූමිකාවන්හි අද්විතීය නාමය කියා පෑමත් යන සියලු ප්‍රමිතීන් මෙම සෞන්දර්ය සුයාමය තුල ලියැවී දිලිනි.
අනුරාධපුර ‟තෝතැන්න” සංගීත අසපුවේ සෞන්දර්යාත්මක පෙළහරින් හා වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ මාධ්‍ය මෙහෙවරින් හැඩ වු ‟මිහිකත නළවලා”මියැසි රසෝඝය අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයට රැස් වු මියැසි ලෝලීන්ගේ හද නහර පිනවුයේ විශ්ව භාෂාවක් වන සංගිතයේ සිහළ සලකුණු හි ගාම්භිරත්වය විහිදුවමිනි.
වර්තමාන ශ්‍රී ලංකාවේ සංගීත රසවින්දනය විසුක දසුන් වලින් සපිරිව එළිමහනට සේන්දු වී තිබේ. එය කොතෙක් ඉහළ ගොස් ඇත් ද යත් මෙරට ක්‍රීඩාංගන භාවිතා කරන්නේ ක්‍රීඩාවටත් වඩා එළිමහන් සංගීත ප්‍රසංග වලට දැයි විටෙක සිතේ. එය සිහළ අනන්‍යතා රැසක් නිශේධනය කරන, තරුණ හදවත් හි සංගීත රසය නිස්සාර අඩවියක පිහිටුවන මහා ආක්‍රමණයකි.විටෙක රුපවාහිනියත්,“ස්මාට්” ජංගම දුරකථනයත්,එළිමහනේ පවත්වන කර්ණ කම්පනයත්,හද කම්පනයත් මෙන්ම ඒ හරහා සංස්කෘතික කම්පනයක් ඇති කරවන එළිමහන් සංගීත දර්ශන නිසාත් රසවින්දනයේ ගුණ සුවද අඩියටම සිදෙන්නට පටන්ගෙන තිබේ. ඒවා සංගීත සන්දර්ශන යැයි කිවද,‟සං” යන්නෙන් නැගෙන “යහපත්” යන අරුත ඒවායෙහි ගැබ්ව තිබේ ද? .එහෙත් පසුගිය මාස කිහිපය පුරා අනුරාධපුර ඇති ලොකුම ලොකු ක්‍රිඩාංගනය අවස්ථා විසි ගණනකට ආසන්න සංඛ්‍යාවක දී එළි මහන් ප්‍රසංග පැවැත්විණි. එයින් අසනීපකාරයෝ උස් විය. පහර දුන්නවුන් අත්ඩංගුවට පත්විය. පහර කෑ වුන් රෝහල්ගත විය. ක්‍රිඩාංගනය කුණු වලින් පිරිණි. බීර හල් සැනින් හිස් විය. තරුණ තරුණියෝ පමණක් නොව පැහුණු උන්ගේ ද වෙහෙසි සොයාගත් මිල මුදල් නිකරුනේ වියපැහැදම් විය. කිමෙක්ද ඒ සංගීතයේ අසිරිය.
මේ සියල්ලට හේතුව සැබෑ රසය විතැන් විමයි.එහෙත් එය නැවත ශ්‍රී ලංකේය අනන්‍යතාවය සහිතව ගොඩ ගැනීමට හැකි උන්නතිකාමීන් මේ රටේ කොතනත් සිටී. ඔවුන්ට ඉදිරියට ඒමට අත්වැල සැපයීම සදහා යුහුසුළු විය යුතුයි. පලාත් සභා ශ්‍රවණාගාර වේදිකාවේ නිර්මිත අසිරිය එය මා හදට කියාපෑවේ ය. එය එක් වරම සුපිපි කුසුම් පරාදීසයක් විණි. එයින් මුළු සභා ගැබම සුවදවත් කර එම සුවද හා රස මුසුව රසික හදවත් වල හෙමි හෙමින් කිදා බැස්සේ ය. එයින් කීවේ මෙරටට අවැසි සංගීත රසයේ ස්වභාවයයි. කවදත් අනන්‍ය ආනන්දයකට සිහළ හදවත් කැදවාගෙන ගිය සුනිල් ශාන්තයන් වැනි සංගීතවේදීන් කෘතවේදීව සදා සිහිපත් කළ යුත්තේ මේ නිසාමය. සංගිතය කුමන රටේ වුවද කම් නැත.එහෙත් එය හදට ඔසුවක් මිස වදයක් නොවිය යුතුය. හද ඔසු බදු සංගීත රාවයත් එහි පවතින අමා රසයන් විදින්නට ඉඩ දුන් සංගීත සැදෑවක් ‟තෝතැන්න” සංගීත අසපුවෙන් මැවුයේ කුඩා දරු දැරියන් එක්කර ගනිමිනි.
මහා ප්‍රසංග පවත්වන්නන්ට මෙන් ඔවුනට මිළ මුදල් නැත. ලක්ෂ ගණන් මුදල් සපයන අනුග්‍රාහකයින් ද නැත.එහෙත් ඔවුනට ජීවන රිද්මයේ සැබෑ තත්ත්වය කුමක්ද? යන වැටහීම පවතී.සමාජය යහපතට සේන්ද්‍ර කිරීමට ඔවුන් උනන්දු කරවීම සදහා ඔවුනට ඇති එකම වස්තුව එම සැබෑ ජීවන රිද්මය පමණි. වලිසිංහ මාධ්‍ය මෙහෙවරත් තෝතැන්න අසපුවේ සංගිත මෙහෙවරත්, මාපිය සංසද ශක්තියේ අනුහසත් සමග ඉපදුණු සුනිල් ශාන්ත සංගිතවේදීයා සිහිපත් කළ ‟මිහිකත නළවලා”සංගීත රසෝඝය පොඩි වුන් කළ ලොකු වැඩක් යැයි සදහන් කළ ද ඔවුන්ගේ ප්‍රයන්තය දෙස විමිසිල්ලෙන් බලන අයට පෙනෙන්නේ ඒ කිසිවෙකුත් පොඩි වුන් නොවන බවයි.පොඩි වුන් ලෙස පෙනෙන්නේ ලොකු යැයි සම්මත ආටෝපමය සමාජයක් මෙලක බිහි වී වැඩී ඇති බැවිනි.එහෙත් උපකාරක පංතියේ ශක්තිය උපරිම යැයි සිතන සමාජයක පාසල් ගුරුවරුන්ගේ දණ බිද දමා තිබේ. එය නොවිය යුත්තකි.ඊට ගුරු භූමිකා බොහෝ සංඛ්‍යාවක් ද වගකිව යුතුය. විශේෂයෙන්ම යහපත් අධ්‍යාපනික සත්කාර සිදුකරන ගුරු භවතුන්ගේ නාමය පවා සැගවී යන තත්ත්වයක් පාසල් ගුරු භූමිකාවට අත්වෙමින් පවතී.එය වෙනස් කරන්නට මෙබදු ගුරුභවතුන් සිදුකරන මෙහෙවර නිරන්තර ඇගයීමට ලක්විය යුතුමය.
ළමා ලෝකය ළමයින්ට දිය යුතුය.එහෙත් ඔවුනට ස්වාධීනත්වය දෙනවා මිසක අසීමිත නිදහසක් ලං නොකළ යුතුය.වර්තමාන දරුවන් ළමා ලෝකය යහමින් භූක්ති නොවිදින්නේ ඔවුනට ඇති අසිමීත නිදහස නිසාමය.වර්තමාන දරුවා පවුලෙන් නිසි ප්‍රාථමික සමාජානුයෝජනයට ලක් නොවේ.එනම් බහුතර දෙමාපියන් නිසි මැදිහත් විමක් දරුවන් කෙරෙහි නැමී නැත.එම නිසා කුඩා කළ දරුවා සමාජානුයෝජනය වන්නේ තමන්ට රිසි සේය.එවිට දරවා දෙමාපියනට කීකරු නැත.ඒ තබා ළමයා ළමයාට ද කීකරු නැත. එය සමාජානුයෝජනයේ වරදය. දරුවකු ද්විතීක සමාජානුයෝජනය මුලින්ම ලබන තැන පාසලයි. දෙමාපියන්ගේ මනා ගුරුහරුකම් වලින් සුදීප්තව පාසලට පැමිණෙන දරුවා පාසල් පරිසරය තුල ගුරු භූමිකාවෙන් මනා සමජ පන්නරයක් ලබා ගනී.එම යහ පන්නරය මෙතරම් දියුණු සමාජයක් නොතිබුණු සමයේ පවුලෙන්,කාලෑසියෙන් නොමදව ලැබුණි.සත්‍ය වශයෙන්ම එවක දරුවනට ලබා දී තිබුනේ අසීමිත නිදහස් නොව මානව දයාව පිරුණු ස්වාධීනත්වයකි.දැන් දරුවනට බොහෝ ලෙස ඇත්තේ දැනුම පමණි.ශික්ෂණයක් නැත.මෙයට දෙමාපියන් පළමුව වගකිව යුතුය.දෙවනුව ගුරුවරුන් වගකිව යුතුය.
‟මිහිකත නළවලා”ගී ප්‍රසංගය තුල තබා ළමයින් පිළිබද සිහිපත් කළේ ගැලපුමක් නැතිව නොවේ.මෙම ප්‍රසංගය සිදුකළේ ලෝක ළමා දිනය මුඛ්‍ය කරගෙනය. එමෙන්ම ප්‍රසංගයේ සමස්තය හැඩ වුයේ දරුවන්ගෙනි. එය සංවිධානය කළේ මාපිය සංසදය යි . සාහිත්‍ය කලාව කන්නටදැයි අසන දරුවන් එයින් හැකි තරම් ඉවත්කර රසිකත්වය හීන දීන කරන සමාජ ව්‍යුහයක සිටින අපි අවාසනාවන්තයෝ වෙමු. මන්ද යත් අධි සංවර්ධිත රටක් වන ඇමරිකාව පවා ඕනෑම විෂයයක් හදාරන දරුවනට සාහිත්‍ය කලාව අනිවාර්ය කර තිබේ‟not for profit ˸why democracy needs the humanities” නමින් 2010 වසරේදී කෘතියක් රචනා කරන ‟මාර්තා නස්බෝම්” (martha G˸ Nussbaum) මහචාර්යවරිය මේ බැව් පෙන්වා දී තිබේ.අධි සංවර්ධිත රටවල් කලාව නිසි දිනෙක අතහැරියේ නැත.එහෙත් අපි යන්නේ කොතනටද? මෙය නැවත නැවතත් සිතා බැලිය යුතු අනුවේදනීය වු අන්තයකි.‟පුංචි පැළේ ගස වෙනා” යනුවෙන් අප අසා ඇත.‟මිහිකත නළවලා”තුලින් පෙනුනේ පුංචි පැළ ක්‍රමවත්ව මහ රුක්ෂ බවට පත්වීමේ සලකුණු ය.ඒ සදහා ‟තෝතැන්න” සංගීත අසපුව තෝතැන්නක්ම වන්නටත් මපිය සංසදයයේ ශක්තිය අත්වැලක් වන්නටත්, ඒ තුලින් සුනිල් ශාන්ත ගැයු පරිදි හෙළ මියැසි රාවයෙන් මිහිකතම නළවන්නටත් හැකියාව උදාවේවි.ඒ වෙනුවෙන් අපි , අපෙ දරුවනට ස්වාධීනව නැගිටින්නට ඉඩ දෙමු.
සටහන -
ෂෙල්ටන් බණ්ඩාර